ඉන්දියාවේදී බැසිල්ට බාල්දියක් : දෙන්නම්… හැබැයි ගන්න බෑ! චීනය දාපු කොන්දේසිය!
බැසිල්ගේ ඉන්දීය සංචාරය හා ඇතුළාන්ත විස්තර සම්බන්ධයෙන් එම තීරයේ සිදු කර ඇති හෙළිදරව්ව මෙසේය.
” නමුත් ඇත්තටම බැසිල්ගේ සංචාරයේදී සිදුවූයේ කුමක්ද? ඉන්දියාවෙන් විශාල ණය මුදලක් රැගෙන ඒමට ඉන්දියාවට ගිය බැසිල්ට එහිදී ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?
ඒ පිටුපස තිබුණේ කවුරුත් නොසිතූ සිදුවීම් වැළකි. ඉන්දියාවෙන් විශාල මුදලක් රැගෙන ඒමට ගිය බැසිල්ට සිදුවූයේ කිසිවකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වැළකට මුහුණ දීමටය.
මුදල් ඇමැතියි විදේශ ඇමැතියි එකට ඇවිත්!
සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පසුව ආණ්ඩුවේ සිටින ප්රබලතම අමාත්‍යවරයා ලෙසටය. ඒ අනුව බැසිල්ගේ ඉන්දීය සංචාරය සැලසුම් කොට තිබුණේ පළමුව ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය සමග සාකච්ඡා කොට ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග සාකච්ඡා කිරීමටත්, අවසානයේදී ඉන්දීය අගමැති මෝදි මුණගැසීමටත්ය. එම සාකච්ඡා වෙන වෙනම පැවැත්වීමටද සැලසුම් කොට තිබිණි. නමුත් බැසිල්ගේ සංචාරය ආරම්භ වද්දීම සියල්ලන්ම පුදුමයට පත්කරමින් මෙම සැලසුම හදිසියේම වෙනස් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් පියවර ගෙන තිබිණි. එයද ලංකාවේ දූත පිරිසට නොදන්වා සිදුකොට තිබීම විශේෂ සිදුවීමකි.
කඩවුණු පොරොන්දු වැළක් කියාගෙන යයි!
ඉන්දීය මුදල් අමාත්‍යාංශයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඇත්තේ එකම ගොඩනැගිල්ලක වෙන වෙනමය. ඒ අනුව බැසිල් මුලින්ම ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා මුණගැසීමට යද්දී ඇයත් සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයාද අසුන්ගෙන සිටිනු දැකගත හැකි විය. සාමාන්‍යයෙන් එවැන්නක් ඇමැතිවරුන්ගේ රැස්වීමකදී සිදු නොවන අතර එවැනි දෙයක් සිදුවන්නේ අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකදීය. සාමාන්‍යයෙන් මෝදි යම් රාජ්‍ය නායකයකු සමග හෝ අමාත්‍යවරයකු සමග සාකච්ඡා කරන්නේ නම් ඔහුගේ පසෙකින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකු සිටීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම එකම සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටීම හරහා සාකච්ඡාව අතරතුරදී බාල්දියක් පෙරළීමට නියමිත බවට වූ පළමු ඉඟිය බැසිල්ට ඉවෙන් මෙන් වැටහිණි. එම ඉඟිය තහවුරු කරමින් මෙම සාකච්ඡාවේදී නිර්මලාටත් වඩා අදහස් දැක්වීම සිදුකළේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා වූ එස්. ජයශංකර්ය. ඔහුද සිය අදහස් දැක්වීමේදී වැඩි අවධානයක් යොමුකොට තිබුණේ එදා සිට ලංකාව ඉන්දීය රජයට ලබා දුන් කඩවුණු පොරොන්දු පිළිබඳ බැසිල්ට මතක් කර දීමටය. විශේෂයෙන්ම දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු පොරොන්දු ගණනාවක් මෙහිදී මතක් කළ ජයශංකර්, ඉතාම මෑතකදී, එනම් ඉකුත් නොවැම්බර් 15 වැනි දින ලංකා රජය කඩ කළ පොරොන්දුවද බැසිල්ට මතක් කර දුන්නේය. ඒ, පලාලි ගුවන් තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කරන පොරොන්දුවය. ඒ හරහා ඉන්දියාව සහ පලාලි අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ලංකාව එකඟතාව පළකර තිබුණද, එම පොරොන්දුවද පරණ ඒවා මෙන්ම කඩකොට ඇති බව ජයශංකර් බැසිල්ට පෙන්වා දුන්නේය. මේ නිසා ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ජයශංකර් නොවලහා බැසිල්ට කියා සිටියේය.
බැසිල් කාරණය මුලට ගනී!
ජයශංකර්ට අමතරව මුදල් අමාත්‍යවරිය වූ නිර්මලාද මේ සම්බන්ධයෙන් තම නෝක්කාඩුව බැසිල් ඉදිරියේ පළකර සිටියාය. ඒ හරහා මෙය අහම්බෙන් සිදුවූවක් නොව ඉතා සැලසුම්සහගතව සිදුකළ එකක් බව බැසිල්ට වටහාගැනීම අපහසු නොවීය. ඒ අනුව බැසිල් අවසානයේදී කෙසේ හෝ තමන් පැමිණි කාරණයට පිරිසගේ අවධානය යොමුකර ගැනීමට සමත් විය. ඔහු පිරිසට කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ඉන්දියාවේ මුල්‍යාධාර ලංකාව බලාපොරොත්තු වන බවය. ඊට ඍජු පිළිතුරක් නොදුන් ඉන්දීය මුදල් අමාත්‍යවරිය කියා සිටියේ බැසිල්ගේ ඉන්දීය සංචාරය අවසන් වීමට පෙර ඒ පිළිබඳ දැනුම්දීමක් කරන්නම් යැයි කියාය.
මෝදි හදිසියේම බිසි වෙයි!
ඒ අනුව එම සාකච්ඡාව අවසන් කර බැසිල් ඊළඟට සූදානම් වූයේ සංචාරයේ ප්‍රධානතම හමුව වන මෝදි සමග සාකච්ජා පැවැත්වීම සඳහාය. බොහෝ වේලාවක් බලා සිටියද ඉන්දීය රජය පාර්ශ්වයෙන් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බැවින් ඒ පිළිබඳ විමසද්දී ඉන්දීය බලධාරීන් දැනුම්දී තිබුණේ මෝදි හදිසියේම කාර්යබහුල වී ඇති බවත්, එම නිසා මෝදි සමග හමුවක් පැවැත්වීමට අවස්ථාවක් නැති බවත්ය.
ඉන්දියාව බෑ නොකියා බෑ කියයි!
ඒ අනුව නැවත වතාවක් බැසිල් පෙර හමුවූ කණ්ඩායමම හමුවී මුදල් පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මෙම හමුවේදී පෙර පරිදිම ඉන්දීය විදේශ අමාත්‍යවරයාත්, මුදල් අමාත්‍යවරියත් ලංකාව පැත්තෙන් කඩ කළ පොරොන්දු මාලාව බැසිල්ට මතක් කර දීමට පියවර ගත්හ. ඒ සියල්ලම සාවධානව අසා සිටි බැසිල් කිසිදු කලබලයක් නොපෙන්නුවත්, බැසිල් විමතියට පත්වූයේ මුදල් සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වයෙන් ලබාදුන් පිළිතුරත් සමගය. එහිදී මුදල් අමාත්‍යවරිය කියා සිටියේ ලංකාවට ණය ලබාදීමට ප්‍රථම ලංකාව දැනට සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ආර්ථික සැලැස්ම පැහැදිලි කරන්න යැයි කියාය. මෙවැනි අර්බුදයකදී ඕනෑම රටක් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ආර්ථික සැලසුමක් සකස් කරගන්නා බව කියා සිටි ඉන්දීය අමාත්‍යවරුන් ඒ අනුව ලංකාවද පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගොස් ඉදිරි ආර්ථික සැලැස්මක් සකස් කරගත යුතු බව පෙන්වා දුන්නේය. එසේ යෑමෙන් පසු අදාළ ආයතනවලින් ලබාදෙන සහතිකය ඔස්සේ තමන්ටද ලංකාවට මුල්‍යාධාර ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකි බව ඉන්දීය අමාත්‍යවරු බැසිල්ට දැනුම්දී සිටියහ. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ බැසිල් බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් මිලියන 500ක ණය මුදල නොලැබෙන බවට වූ ඉඟි කිරීමකින් අනතුරුවය. නොඑසේ නම් බැසිල්ට යළිත් ලංකාවට පැමිණීමට සිදුවූයේ ඉන්දියාවට ගියා හා සමානවම හිස් අතින්ය.
චීනය දාපු කොන්දේසිය!
චීනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදීද සිදුවූයේ මේ හා සමාන දෙයකි. ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ණය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණියේ මීට සති දෙකකට පෙරාතුවය. ඔවුන් සමග පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔවුන්ට දැනුම්දී සිටියේ තමන් ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් බලාපොරොත්තු වන බවය. නමුත් මේ වන විට ආණ්ඩුව සහ චීනය අතර හොඳ හිත පළුදු වී ඇති බැවින් මෙම ණය මුදල ලබාගැනීම සඳහා දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමට කබ්රාල්ට සිදුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
දෙන්නම්… හැබැයි ගන්න බෑ!
ඒ අනුව මෙම චීන නියෝජිත පිරිස පසුගිය දිනෙක රාත්රියේදී අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණියේය. එහිදීද මෙම ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර චීන නිලධාරීන් අගමැතිවරයාට පෙන්වා දුන්නේ තවමත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී නොමැති බවත්, අවශ්‍ය ලිපි ලේඛන පවා සකස් වී නොමැති බවත්ය. ඒ අනුව එම චීන නිලධාරීන් පිරිස අගමැතිවරයා සමග සාකච්ඡාව අවසන් කළේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වමිනි. ඉන් දින කිහිපයකට පසු ඔවුන් ලංකාවෙන් පිටත් වීමට ප්‍රථම නැවත වතාවක් මහ බැංකු අධිපති කබ්රාල් මහතා මුණගැසීමට පියවර ගත්හ. එම සාකච්ඡාවේදී ඔවුන් චීන රජයෙන් ලද පණිවුඩයක් සේ කබ්රාල්ට මෙම මුදල ලබාදිය හැකි ආකාරය පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් කියා සිටියේ අදාළ ඩොලර් මිලියන 1,500 ලබාදිය හැකි නමුත් එය කිසිදු කරුණකට භාවිතයට ගත නොහැකි බවකි. නොඑසේ නම් එය තැන්පතුවක් ලෙස පමණක් තබාගත හැකි ලෙස ලබාදිය හැකි බව චීන නියෝජිත පිරිස කබ්රාල්ට දැනුම් දී සිටියහ.
මහින්ද චීන ණය ගැන කියපු කතාව…!
මෙය යම්කිසි ආකාරයකින් අසුබ ආරංචියක් බැවින් සාකච්ඡාව නිම වූ වහාම අගමැතිවරයා මුණගැසුණු කබ්රාල් ඒ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘කාටවත් ගෙවන්න බැරි සල්ලියක් අපට දීලා මොනව කරන්නද’ යැයි කියාය. ඊට පිළිතුරු දුන් කබ්රාල් කීවේද, ‘ඒක තමයි සර්… අපට මේ සල්ලි පාවිච්චි කරන්න බැහැලු. ඒක බැංකුවේ දාලා ඕනෙ කෙනකුට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න විතරයි පුළුවන්’ යැයි කියාය. ඊට මහින්ද පිළිතුරු දුන්නේ මඳ සිනහාවකින්ය.”