ජනවාරි 18 , රට බංකොලොත් වෙයිද? චීනෙන් කොන්දේසි දමයි! ඉන්දියාව දෙන්න බෑ කියයි!
බැසිල්ට ඉන්දියාවේදී නොසිතූ අකරතැබ්බයක්!
මෝදි හදිසියේම බිසි වෙයි!
බැසිල්ට බෑ කියා දෙමළ සන්ධානයට මෝදි හා කිව්වේ ඇයි!
සජබ ගහපු පාර්ලිමේන්තු කැරැල්ල!
2022 නව වසර එළඹීමට තවත් ඇත්තේ සති තුනක් පමණි. සාමාන්‍යයෙන් නව වසරක් එළැඹෙද්දී බොහෝ දෙනා එකිනෙකාට ප්‍රාර්ථනා කරන්නේ උදාවන අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියාය. එය අතීතයේ සිටම ලෝකයේ සියලු දෙනාම එකිනෙකාට සුබපැතුම් එක්කර ගත් ආකාරයය. ඒ අනුව 2022 ජනවාරි පළමු වැනි දින අපද හිතවතුන් සමග සුබ නව වසරක් වේවායි කියමින් එකිනෙකාට සුබ පතාගන්නවා නිසැකය. නමුත් ගැටලුව ඇත්තේ අප එසේ සුබපතා ගත්තද ඇත්තටම 2022 වසර රටට සුබදායක එකක් වේද යන්න පිළිබඳවය.
ජනවාරි 18 රටට තීරණාත්මකයි!
මන්ද යත් දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ 2022 ජනවාරි 18 යනු ලංකාවට ඉතා තීරණාත්මක දිනයකි. එසේ ජනවාරි 18 ලංකාවට තීරණාත්මක වන්නේ ඡන්දයක් පැවැත්වෙන නිසා හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන නිසා හෝ දේශපාලන පෙරළියක් හෝ නිසා නොව ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනවාරි 18 වැනි දින ලංකාවේ අනාගතය තීරණය කරන අතිශය තීරණාත්මක දවසක් බවට පත්ව ඇති නිසාය. ඒ, එදිනට ලංකාව තමන් රැගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ ණය වාරිකය සහ පොලී මුදල ගෙවන දිනයක් බවට ජනවාරි 18 පත්ව ඇති නිසාය. මෙතෙක් ලංකාව ලබාගෙන ඇති ණය පියවීම වසරකට තුන් වතාවක් සිදු කළ යුතුව ඇති අතර, නව වසරේ එහි පළමු වාරිකය ගෙවීම යෙදී ඇත්තේ ජනවාරි 18 වැනි දිනටය. අවසන් වතාවේදීත් මෙම ණය වාරිකය ගෙවීමට නියමිත කාලය පැමිණෙද්දී විපක්ෂය දිගින් දිගටම දේශපාලන වේදිකාවේ කියා සිටියේ ආණ්ඩුවට ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවත්, ආණ්ඩුව රට බංකොලොත් කර ඇති බවත්ය. නමුත් ඒ අවස්ථාවේ කෙසේ හෝ විදෙස් සංචිතවල ඇති මුදල් සහ යම් යම් ක්‍රමවේද ඔස්සේ සොයාගත් මුදල්වලින් අදාළ ණය වාරිකය ගෙවාදැමීමට ආණ්ඩුව සමත් විය.
ගත්ත ණයවාරික ගෙවන්න බැරිව රට බංකොලොත් වෙයිද?
නමුත් මෙවර ඩොලර් බිලියන දෙකකට අධික ණය වාරිකයක් ගෙවීමට ආණ්ඩුවට සිදුව තිබුණද විදෙස් සංචිතවල ඉතිරිව ඇත්තේ තවත් ඩොලර් බිලියන 1.5ක මුදලක් පමණි. එයද රත්රන් සංචිතයද ඇතුළත්වය. ඒ අනුව යම් හෙයකින් මෙවර ණය වාරිකය පියවිමට ආණ්ඩුවට නොහැකි වුවහොත් එහිදී නිල වශයෙන් රට බංකොලොත් බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියට පත්වීම වැළැක්විය නොහැකිය. ඒත් සමගම රටට විශාල අර්බුද ගණනාවකට මුහුණ දීමටත්, රටේ සියලු ක්ෂේත්‍ර කඩාවැටීමකට ලක්වීමත් සිදුවනු නොඅනුමානය.
ආණ්ඩුව චීනයටයි ඉන්දියාවටයි හැරෙයි!
ඒ අනුව ආණ්ඩුව පසුගිය සතියේදී විශාල බරක් යොදා තිබුණේ මේ තත්ත්වයෙන් එළියට ඒම සඳහාය. ආණ්ඩුවේ ප්‍රධානීන් තැන් තැන්වල ඉතා රහසේ සාකච්ඡා පවත්වමින් මේ තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන දීර්ඝව සාකච්ඡා කරනු දැකගත හැකි විය. එම සාකච්ඡාවලදී ආණ්ඩුවට පෙනී ගියේ මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඇත්තේ විකල්ප දෙකක් බවය. ඉන් එක් විකල්පයක් වන්නේ චීනයය. අනෙක් විකල්පය ඉන්දියාවය. ඒ අනුව දැනට සති කිහිපයකට පෙර තියාම ආණ්ඩුව මේ විකල්පයන් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය මුදල් සොයාගැනීමේ කටයුත්තේ නිරතව සිටියේය. ඒ අනුව ආණ්ඩුවේ සැලසුම වී තිබුණේ චීන ආයෝජකයන් කිහිප දෙනකු සමග කතාකොට ලංකාවේ ආයෝජන සිදුකිරීමට අවස්ථාව ලබා දෙමින් ඩොලර් බිලියන 1.5ක අත්තිකාරම් මුදලක් ලබාගැනීමටය. එම මුදල බොහෝ දුරට තමන්ට ලැබෙනු ඇති බවද ආණ්ඩුව සිතා සිටියේය. ඉතිරි මුදල ඉන්දියාවෙන් ලබාගැනීම ආණ්ඩුවේ ඊළඟ සැලසුම විය.
කබ්රාල් මිලින්ද තිරය පිටුපස මෙහෙයුමේ!
ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා චීනය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මෙහෙයවද්දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාව සමග තිරය පිටුපස සාකච්ඡා ආරම්භ කර තිබිණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත වූයේද මෙම සාකච්ඡා හරහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලංකාවට රැගෙන ඒමේ අරමුණ ඇතිවය. බැසිල් ලංකාවෙන් පිටත්වීමට පෙර මෙම ණය මුදල ලැබෙන බවට මාධ්‍යවල පුවත් පළවූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා මුණගැසී සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවද කියැවිණි.
ඉන්දියාවේදී බැසිල්ට නොසිතූ බාල්දියක් පෙරළෙයි!
නමුත් ඇත්තටම බැසිල්ගේ සංචාරයේදී සිදුවූයේ කුමක්ද? ඉන්දියාවෙන් විශාල ණය මුදලක් රැගෙන ඒමට ඉන්දියාවට ගිය බැසිල්ට එහිදී ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?
ඒ පිටුපස තිබුණේ කවුරුත් නොසිතූ සිදුවීම් වැළකි. ඉන්දියාවෙන් විශාල මුදලක් රැගෙන ඒමට ගිය බැසිල්ට සිදුවූයේ කිසිවකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වැළකට මුහුණ දීමටය.
මුදල් ඇමැතියි විදේශ ඇමැතියි එකට ඇවිත්!
සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පසුව ආණ්ඩුවේ සිටින ප්රබලතම අමාත්‍යවරයා ලෙසටය. ඒ අනුව බැසිල්ගේ ඉන්දීය සංචාරය සැලසුම් කොට තිබුණේ පළමුව ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය සමග සාකච්ඡා කොට ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග සාකච්ඡා කිරීමටත්, අවසානයේදී ඉන්දීය අගමැති මෝදි මුණගැසීමටත්ය. එම සාකච්ඡා වෙන වෙනම පැවැත්වීමටද සැලසුම් කොට තිබිණි. නමුත් බැසිල්ගේ සංචාරය ආරම්භ වද්දීම සියල්ලන්ම පුදුමයට පත්කරමින් මෙම සැලසුම හදිසියේම වෙනස් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් පියවර ගෙන තිබිණි. එයද ලංකාවේ දූත පිරිසට නොදන්වා සිදුකොට තිබීම විශේෂ සිදුවීමකි.
කඩවුණු පොරොන්දු වැළක් කියාගෙන යයි!
ඉන්දීය මුදල් අමාත්‍යාංශයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඇත්තේ එකම ගොඩනැගිල්ලක වෙන වෙනමය. ඒ අනුව බැසිල් මුලින්ම ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා මුණගැසීමට යද්දී ඇයත් සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයාද අසුන්ගෙන සිටිනු දැකගත හැකි විය. සාමාන්‍යයෙන් එවැන්නක් ඇමැතිවරුන්ගේ රැස්වීමකදී සිදු නොවන අතර එවැනි දෙයක් සිදුවන්නේ අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකදීය. සාමාන්‍යයෙන් මෝදි යම් රාජ්‍ය නායකයකු සමග හෝ අමාත්‍යවරයකු සමග සාකච්ඡා කරන්නේ නම් ඔහුගේ පසෙකින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකු සිටීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම එකම සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටීම හරහා සාකච්ඡාව අතරතුරදී බාල්දියක් පෙරළීමට නියමිත බවට වූ පළමු ඉඟිය බැසිල්ට ඉවෙන් මෙන් වැටහිණි. එම ඉඟිය තහවුරු කරමින් මෙම සාකච්ඡාවේදී නිර්මලාටත් වඩා අදහස් දැක්වීම සිදුකළේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා වූ එස්. ජයශංකර්ය. ඔහුද සිය අදහස් දැක්වීමේදී වැඩි අවධානයක් යොමුකොට තිබුණේ එදා සිට ලංකාව ඉන්දීය රජයට ලබා දුන් කඩවුණු පොරොන්දු පිළිබඳ බැසිල්ට මතක් කර දීමටය. විශේෂයෙන්ම දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු පොරොන්දු ගණනාවක් මෙහිදී මතක් කළ ජයශංකර්, ඉතාම මෑතකදී, එනම් ඉකුත් නොවැම්බර් 15 වැනි දින ලංකා රජය කඩ කළ පොරොන්දුවද බැසිල්ට මතක් කර දුන්නේය. ඒ, පලාලි ගුවන් තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කරන පොරොන්දුවය. ඒ හරහා ඉන්දියාව සහ පලාලි අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ලංකාව එකඟතාව පළකර තිබුණද, එම පොරොන්දුවද පරණ ඒවා මෙන්ම කඩකොට ඇති බව ජයශංකර් බැසිල්ට පෙන්වා දුන්නේය. මේ නිසා ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ජයශංකර් නොවලහා බැසිල්ට කියා සිටියේය.
බැසිල් කාරණය මුලට ගනී!
ජයශංකර්ට අමතරව මුදල් අමාත්‍යවරිය වූ නිර්මලාද මේ සම්බන්ධයෙන් තම නෝක්කාඩුව බැසිල් ඉදිරියේ පළකර සිටියාය. ඒ හරහා මෙය අහම්බෙන් සිදුවූවක් නොව ඉතා සැලසුම්සහගතව සිදුකළ එකක් බව බැසිල්ට වටහාගැනීම අපහසු නොවීය. ඒ අනුව බැසිල් අවසානයේදී කෙසේ හෝ තමන් පැමිණි කාරණයට පිරිසගේ අවධානය යොමුකර ගැනීමට සමත් විය. ඔහු පිරිසට කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ඉන්දියාවේ මුල්‍යාධාර ලංකාව බලාපොරොත්තු වන බවය. ඊට ඍජු පිළිතුරක් නොදුන් ඉන්දීය මුදල් අමාත්‍යවරිය කියා සිටියේ බැසිල්ගේ ඉන්දීය සංචාරය අවසන් වීමට පෙර ඒ පිළිබඳ දැනුම්දීමක් කරන්නම් යැයි කියාය.
මෝදි හදිසියේම බිසි වෙයි!
ඒ අනුව එම සාකච්ඡාව අවසන් කර බැසිල් ඊළඟට සූදානම් වූයේ සංචාරයේ ප්‍රධානතම හමුව වන මෝදි සමග සාකච්ජා පැවැත්වීම සඳහාය. බොහෝ වේලාවක් බලා සිටියද ඉන්දීය රජය පාර්ශ්වයෙන් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බැවින් ඒ පිළිබඳ විමසද්දී ඉන්දීය බලධාරීන් දැනුම්දී තිබුණේ මෝදි හදිසියේම කාර්යබහුල වී ඇති බවත්, එම නිසා මෝදි සමග හමුවක් පැවැත්වීමට අවස්ථාවක් නැති බවත්ය.
ඉන්දියාව බෑ නොකියා බෑ කියයි!
ඒ අනුව නැවත වතාවක් බැසිල් පෙර හමුවූ කණ්ඩායමම හමුවී මුදල් පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මෙම හමුවේදී පෙර පරිදිම ඉන්දීය විදේශ අමාත්‍යවරයාත්, මුදල් අමාත්‍යවරියත් ලංකාව පැත්තෙන් කඩ කළ පොරොන්දු මාලාව බැසිල්ට මතක් කර දීමට පියවර ගත්හ. ඒ සියල්ලම සාවධානව අසා සිටි බැසිල් කිසිදු කලබලයක් නොපෙන්නුවත්, බැසිල් විමතියට පත්වූයේ මුදල් සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වයෙන් ලබාදුන් පිළිතුරත් සමගය. එහිදී මුදල් අමාත්‍යවරිය කියා සිටියේ ලංකාවට ණය ලබාදීමට ප්‍රථම ලංකාව දැනට සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ආර්ථික සැලැස්ම පැහැදිලි කරන්න යැයි කියාය. මෙවැනි අර්බුදයකදී ඕනෑම රටක් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ආර්ථික සැලසුමක් සකස් කරගන්නා බව කියා සිටි ඉන්දීය අමාත්‍යවරුන් ඒ අනුව ලංකාවද පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගොස් ඉදිරි ආර්ථික සැලැස්මක් සකස් කරගත යුතු බව පෙන්වා දුන්නේය. එසේ යෑමෙන් පසු අදාළ ආයතනවලින් ලබාදෙන සහතිකය ඔස්සේ තමන්ටද ලංකාවට මුල්‍යාධාර ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකි බව ඉන්දීය අමාත්‍යවරු බැසිල්ට දැනුම්දී සිටියහ. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ බැසිල් බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් මිලියන 500ක ණය මුදල නොලැබෙන බවට වූ ඉඟි කිරීමකින් අනතුරුවය. නොඑසේ නම් බැසිල්ට යළිත් ලංකාවට පැමිණීමට සිදුවූයේ ඉන්දියාවට ගියා හා සමානවම හිස් අතින්ය.
චීනය දාපු කොන්දේසිය!
චීනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදීද සිදුවූයේ මේ හා සමාන දෙයකි. ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ණය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණියේ මීට සති දෙකකට පෙරාතුවය. ඔවුන් සමග පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔවුන්ට දැනුම්දී සිටියේ තමන් ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් බලාපොරොත්තු වන බවය. නමුත් මේ වන විට ආණ්ඩුව සහ චීනය අතර හොඳ හිත පළුදු වී ඇති බැවින් මෙම ණය මුදල ලබාගැනීම සඳහා දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමට කබ්රාල්ට සිදුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.
දෙන්නම්… හැබැයි ගන්න බෑ!
ඒ අනුව මෙම චීන නියෝජිත පිරිස පසුගිය දිනෙක රාත්රියේදී අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණියේය. එහිදීද මෙම ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර චීන නිලධාරීන් අගමැතිවරයාට පෙන්වා දුන්නේ තවමත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී නොමැති බවත්, අවශ්‍ය ලිපි ලේඛන පවා සකස් වී නොමැති බවත්ය. ඒ අනුව එම චීන නිලධාරීන් පිරිස අගමැතිවරයා සමග සාකච්ඡාව අවසන් කළේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වමිනි. ඉන් දින කිහිපයකට පසු ඔවුන් ලංකාවෙන් පිටත් වීමට ප්‍රථම නැවත වතාවක් මහ බැංකු අධිපති කබ්රාල් මහතා මුණගැසීමට පියවර ගත්හ. එම සාකච්ඡාවේදී ඔවුන් චීන රජයෙන් ලද පණිවුඩයක් සේ කබ්රාල්ට මෙම මුදල ලබාදිය හැකි ආකාරය පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් කියා සිටියේ අදාළ ඩොලර් මිලියන 1,500 ලබාදිය හැකි නමුත් එය කිසිදු කරුණකට භාවිතයට ගත නොහැකි බවකි. නොඑසේ නම් එය තැන්පතුවක් ලෙස පමණක් තබාගත හැකි ලෙස ලබාදිය හැකි බව චීන නියෝජිත පිරිස කබ්රාල්ට දැනුම් දී සිටියහ.
මහින්ද චීන ණය ගැන කියපු කතාව…!
මෙය යම්කිසි ආකාරයකින් අසුබ ආරංචියක් බැවින් සාකච්ඡාව නිම වූ වහාම අගමැතිවරයා මුණගැසුණු කබ්රාල් ඒ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘කාටවත් ගෙවන්න බැරි සල්ලියක් අපට දීලා මොනව කරන්නද’ යැයි කියාය. ඊට පිළිතුරු දුන් කබ්රාල් කීවේද, ‘ඒක තමයි සර්… අපට මේ සල්ලි පාවිච්චි කරන්න බැහැලු. ඒක බැංකුවේ දාලා ඕනෙ කෙනකුට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න විතරයි පුළුවන්’ යැයි කියාය. ඊට මහින්ද පිළිතුරු දුන්නේ මඳ සිනහාවකින්ය.
කබ්රාල් හදිසියේම ඩුබායි යයි!
ඒ අනුව චීනයෙන්ද සුබ ආරංචියක් නොලැබුණු තැන මේ වන විට කෙසේ හෝ ජනවාරි 18 වැනිදාට ප්‍රථම ණය ගෙවීම සඳහා මුදල් පියවීමේ කාර්යයට මහ බැංකු අධිපතිවරයාද අත තබා ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ පසුගිය සතියේ සිදුකළ ඩුබායි සංචාරය දෙස බලන විටදීය. ඒ අනුව මේ වන විට කබ්රාල් සිටින්නේ ඩුබායි නිලධාරීන් සමග මුදල් සොයාගැනීම පිළිබඳ සාකච්ඡා කරමින්ය.
ඔක්කොම එකට ගිලෙන්න හදනවාද?
ඒ අනුව මේ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ලබන ජනවාරි 18 වැනි දින ලංකාවට ඉතා තීරණාත්මක බවය. යම් හෙයකින් එදිනට නියමිත මුදල් සොයාගෙන ණය වාරිකය ගෙවාගැනීමට නොහැකි වුවහොත් නිසැකවම ණය ගෙවාගැනීමට නොහැකි බංකොලොත් රටක් බවට ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත්වනු නොඅනුමානය. මේ තත්ත්වය මුදල් අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පමණක් මුණගැසී පසුගිය ඉරිදා කළ සාකච්ඡාවෙන්ද පැහැදිලි විය. එහිදී බැසිල් ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ සමග කිසිදු ගැටුමක් ඇතිකර නොගන්නා ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම්දී සිටීමටද කටයුතු කළේය. සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ දෙනා කියා සිටියේ බැසිල් ගිලෙන නැවේ තනිවම ගිලෙන්නේ නැතිව පිරිසත් සමගම එකටම ගිලීයෑමේ තියරිය එදින කතාවෙන් පෙනී ගියා යැයි කියාය.
බැසිල්ට බෑ කී මෝදි දෙමළ සන්ධානයට හා කියයි
මේ ආකාරයට බැසිල්ගේ ඉන්දීය ගමනේදී බැසිල් හමුවීමට මෝදි කටයුතු නොකළත් බැසිල් ඉන්දියාවෙන් පිටත්ව පැය කිහිපයක් යෑමට මත්තෙන් මෝදිගේ ලේකම්වරයකුගෙන් මෙරට එක්තරා විශේෂ පුද්ගලයකුට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ, වෙන කවුරුවත් නොව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්ය. මෙම ඇමතුම මගින් මෝදිගේ ලේකම්වරයා සම්බන්දන්ට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් දෙමළ ජාතික සන්ධානය හමුවී සාකච්ඡා කිරීමට මෝදි සූදානමින් සිටින බවත්, හැකි නම් මේ සතියේදීම නවදිල්ලිය බලා පැමිණෙන ලෙසත්ය. මෝදිගේ ලේකම්වරයාගෙන් මෙම ඇමතුම ලැබීමත් සමග සම්බන්දන් ඔහුට දැනුම් දී සිටියේ මෙම සතියේ දෙමළ සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක නායකයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවත්, දෙමළ සන්ධාන දූත පිරිසේ අනිවාර්යයෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රැඳී සිටිය යුතු බැවින් මේ සතියේ නවදිල්ලියට පැමිණිය නොහැකි බවත්ය. (ප්‍රේමචන්ද්‍රන්ගේ පුත්‍රයා විවාහ වන්නේ උතුරේ තවත් ප්‍රකට දේශපාලන චරිතයක්ව සිට ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ දියණියය) නමුත් අදාළ මංගල උත්සවය නිමාවීමෙන් පසු හැකි ඉක්මනින් දිල්ලියට පැමිණෙන බවද සම්බන්දන් මෝදිගේ ලේකම්වරයාට දැනුම් දී සිටියේය.
සුමන්තිරන් සම්බන්ධන් ගැටෙයි! සම්බන්ධන් ඊළග නායකයා ගැන ඉගියක් දෙයි!
කෙසේ වෙතත් මෝදිගේ ලේකම්වරයාගේ මෙම දුරකතන ඇමතුමෙන් පසු සම්බන්දන් ඒ බව සිය පක්ෂයේ නියෝජිතයන්ට දැනුම්දී සිටීමට කටයුතු කළේය. එහිදී සම්බන්දන්ගේ ස්ථාවරයට විරෝධය පළ කරමින් මන්ත්‍රී සුමන්තිරන් මහතා සඳහන් කර තිබුණේ ඉන්දීය අගමැතිවරයාගෙන් ලද ආරාධනාවෙන් වහාම ප්‍රයෝජන ගත යුතු බවත්, සුරේෂ් නොමැතිව හෝ මේ සතිය තුළදීම ඉන්දියාවට ගොස් මෝදිව මුණගැසිය යුතු බවත්ය. නමුත් සුමන්තිරන්ගේ අදහසට දැඩිව විරෝධය පළ කළ සම්බන්දන් සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ තමන්ගෙන් පසු පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වන බවත්, ඉන්දීය අගමැතිවරයා සමග සිදුකරන සාකච්ඡාවේදී ඔහු නියත වශයෙන්ම එම ස්ථානයේ සිටිය යුතු බවත්ය. මේ හරහා සම්බන්දන්ගෙන් පසු සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වනු ඇති බවට බොහෝ තැන්වල මත පළවී තිබුණද, තමාගෙන් පසු නායකත්වය ගැනීමට සුදුස්සා වන්නේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බවට මෙහිදී කිසියම් ඉඟියක් පිරිසට ලබාදීමටද සම්බන්දන් මෙහිදී කටයුතු කළේය. එමෙන්ම මෝදිගේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට දින වකවානු වෙන්කර ගැනීම තමන් සිදුකරන බවද මෙහිදී සම්බන්දන් පිරිසට කියා සිටියේය.
කෙසේ වෙතත් සම්බන්දන් මෝදි සමග පැවැත්වෙන මෙම සාකච්ඡාව තවත් දින කිහිපයකින් කල් දැමීමට බලපෑ ඇත්තම හේතුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ පුත්‍රයාගේ විවාහයමද? එසේත් නැත්නම් වෙනත් හේතුවක්ද?
සම්බන්ධන් ගහන්න යන ගේම් එක…!
සාමාන්‍යයෙන් සම්බන්දන් සැලකෙන්නේ වයෝවෘද්ධ වුවත් ඉතා තියුණු දේශපාලන බුද්ධියකින් සහ සටකපට දේශපාලන දැක්මකින් යුතු පුද්ගලයකු ලෙසටය. උතුරේ බොහෝ දෙනා සම්බන්දන් සමාන කරන්නේ දකුණේ සිටි ජේ.ආර්.ගේ කපාපු පළුව ලෙසටය. ඒ අනුව මෙහිදී සම්බන්දන් මෝදි හමුවීම තවත් සති කිහිපයකින් කල් දැමීමට සැලසුම් කළේ වෙන කිසිවක් නිසා නොව ඉදිරි සති කිහිපය ඇතුළත ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලංකාව ඉලක්ක කර බරපතළ වෙඩිමුර කිහිපයක්ම නිකුත් වීමට නියමිත බව හොඳහැටි වටහාගෙනය. එහි පළමු වෙඩිමුරය ඇමෙරිකාවෙන් පසුගිය සතියේ එල්ල විය. ඒ, ඇමෙරිකාවේ පැවැත්වෙන ප්රජාතන්ත්රවාදී සමුළුවෙන් ලංකාව ඉවත් කිරීම හරහාය. කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය වැනි රටවලට එම සමුළුව සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ආරාධනා කර තිබුණත්, ලංකාවට ආරාධනා කර නොතිබීම විශේෂ සිදුවීමක් විය. ලංකාව පමණක් නොව චීනයද මෙම සමුළුවෙන් ඉවත් කිරීමට බයිඩන් කටයුතු කොට තිබිණි.
අමෙරිකාවෙන් ප්‍රහාර කිහිපයක් එන ලකුණු!
මීට අමතරව පසුගිය මාසයේදී සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් වැනි මන්ත්‍රීවරුන් ඇමෙරිකාවේ සංචාරය කොට එරට රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලද ඉදිරි සති කිහිපයේදී එළියට ඒමට නියමිතය. මෙහිදී දෙසැම්බර් අවසන් සතිය පමණ වන විට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලංකාව ඉලක්ක කර බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද සම්බන්දන් හට තොරතුරු ලැබී තිබේ. ඒ, ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය පදනම් කරගෙනය. එම නිවේදනය හරහා දෙමළ ජනතාවට ලබාදෙන විසඳුම සහ යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳවද දැඩිව අදහස් පළවනු ඇති බවක් දැනගන්නට ඇත. සම්බන්දන් මෝදි හමුවීමට මේ කල් මරමින් සිටින්නේ මෙම නිවේදනය එන තෙක්ය. ඉන් අනතුරුව එම නිවේදනයේ සඳහන් කරුණුද අතේ තියාගෙන සම්බන්දන් මෝදි හමුවීමට සූදානමින් සිටින බව ආරංචිය. මෙම ඇමෙරිකානු නිවේදනයෙන් අනතුරුව එය පදනම් කරගෙන අනෙකුත් බටහිර හා යුරෝපා රටවල්ද ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව ලබන ජනවාරිය වන විට රට මුදල් අතින් බංකොලොත් වීමේ අනතුරක් ඇතුවා පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් කොන්වීමේ අනතුරක්ද මේ වන විට දැකගන්නට ඇත.
සජබ පාර්ලිමේන්තු වර්ජනය
පසුගිය සතියේදී පාර්ලිමේන්තුව උණුසුම් වූයේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුවීම නිසාය.
මනූෂ දෙබරෙට ගල ගහයි!
පසුගිය සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් තිබුණි. සමගි ජන බලවේගය වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරම්භක කතාව කළ අතර අවසන් කතාව කිරීමට නියමිතව සිටියේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාය. මනුෂ කතාව ආරම්භ කරන විට කතානායකවරයා සභාවේ අනුමැතිය ගත්තේ නියමිත කාලයෙන් පසුවත් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමටය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ මැදිහත්වීමෙන් මනුෂට විනාඩි දහඅටක කාලයක් ලබා දුන්නේය.
කට්ටිය මනූෂට ගහන්න පනී!
එහෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුව නැඟී සිටිමින් මනුෂගේ කතාව නතර කරන ලෙස ඉල්ලා සිටි විට කතානායකවරයාත් තමන්ගේ තීරණය රිවස් කරගනිමින් මනුෂගේ කතාව නතර කරන ලෙස දැනුම් දුන්නේය.
ඒ වන විට මනුෂගේ පුද්ගලික ජීවිතය අලලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමට යාමත් සමග මනුෂ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට රිදෙන උත්තරයක් දී තිබුණි.
කතානායකවරයා හදිසියේම තමන්ගේ කතාව නතර කිරීමත් සමග මනුෂ පාර්ලිමේන්තු ලේකම්වරුන් සිටින තැනට ගියේ තමන්ගේ කතාව හදිසියේ නතර කළේ කුමන හේතුවක් නිසාදැයි විමසීමටය. එතැනට වේගයෙන් පැමිණියේ ජොන්ස්ටන්ය.
ඒ සමගම කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ තල්ලු කළේ ගැටුමකට අරඅඳිමිනි. එතැන සිටි හර්ෂ ද සිල්වා මන්ත්රීවරයාත්, පාර්ලිමේන්තු සේවකයකුත් නොවන්නට මනුෂ කතානායක පුටුව ළඟ ඇදවැටෙන්නට තිබුණි.
ඒ අනුව කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ බහට අවනත වෙමින් පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ දෙන බවට විපක්ෂය චෝදනා කළ ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, ආණ්ඩුවද ඊට පිළිතුරු දෙන්නට යෑම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ඒ උණුසුම මැදම කතානායකවරයා සභාවේ කටයුතු අවසන් කිරීමට පියවර ගත්තේය.
වරෙන් මනුෂ එළියට… වරෙන් මනුෂ…
සෙනසුරාදා දිනයේදිත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙමින් තිබුණි. එදිනටත් මනුෂට කතාවක් වෙන් කර තිබුණේය. කලින් දිනයේදී සිදුවූ සිද්ධිය ගැන පැහැදිළි කිරීමක් කළ මනුෂ සුපුරුදු පරිදි තමන්ගේ කතාව කරගෙන ගියේය.
නමුත් ධීවර අමාත්‍යාංශයේ සිදුවූ වංචා දූෂණ ගැන අනාවරණයක් කරන විට කංචන විජේසේකර ඇමැතිවරයා තමන්ගේ පුටුවෙන් නැඟී සිටිමින් කතාවට බාධා කරන්න විය. මනුෂ තමන්ගේ කතාව අවසන් කරන විට දිවා විවේකය සඳහා පැය භාගයකට සභාව කල් තැබුවේය. මනුෂගේ කතාව අවසන් කරන විටම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිටව යන ලොබියට පැමිණියේ කංචනය. ඒ තවත් මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් පමණ කැටුවය.
‘වරෙන් මනුෂ එළියට… වරෙන් මනුෂ…’ යැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිටව යන දොරටුව අසල ඔවුන් සිටින විට ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ගොස් කංචන එතැනින් පිටත් කර හැරීමට උත්සාහ ගත්තේය. එහෙත් ඔහු එතැනින් පිටත්ව ගියේ නැත. ඒ අනුව සියලු දෙනාම මනුෂගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන්නට උත්සුක වූහ. මරික්කාර් මනුෂට දුරකතන ඇමතුමක් දෙමින් කතානායකවරයාගේ දොරටුවෙන් පිටව යන ලෙස දැනුම් දීමක්ද කළේය.
මනූෂ හොර පාරකින් එළියට එයි
‘පාර්ලිමේන්තුව තියෙන්නේ අදහස්වලින් ගහගන්න මිසක් අතින් පයින් ගහගන්න නෙමෙයි. මම ඒ අය මග හැරලා යන්නම්’ කී මනුෂ කතානායකවරයා පිටව යන දොරටුවෙන් පිටත්ව තුන්වැනි මහලේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගියේය.
මනුෂ එසේ යද්දී විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන ඇතුළු පිරිසක් එතැන සිටියේය. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ සිටිමින්ම සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට රවි දුරකතන ඇමතුමක් ගත්තේය. ඇතිවූ සිද්ධිය ඔහු සජිත්ට පැහැදිළි කළේය.
‘එහෙම අපේ මන්ත්‍රීවරුන්ට අතින් පයින් ගහන්න ඉඩ දෙන්න බෑ. මම අපේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරනවා’ යැයි සජිත් කීවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පක්ෂයේ නායකයින් සමග ඒ අවස්ථාවේදීම සාකච්ඡාවක් පැවැත්විය යුතු බව කියමිනි.
සාකච්ජා ඇරඹේ! මරික්කාර් හරීන් දැඩි තීන්දුවක!
ඒ අනුව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, එස්.එම්. මරික්කාර්, රාජිත, ෆොන්සේකා ඇතුළු කණ්ඩායම දුරකතනයෙන් කතා කරමින් ගත යුතු ඉදිරි පියවර ගැන සාකච්ඡා කළහ. ඒ වන විට කිරිඇල්ල මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුව තුළ සිටි අතර ඔවුන් සමගත් සාකච්ඡා කරමින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කතාබස් කළේය.
මෙහිදී මරික්කාර්, හරින් ඇතුළු කණ්ඩායමක් සාකච්ඡාවේදී දැඩිව අවධාරණය කළේ මේ ආවස්ථාවේදී ආණ්ඩුවට දැනෙන උත්තරයක් නොදුණහොත් හැමදාම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගුටි කන්න සිද්ධ වනු ඇතැයි කියාය. මෙවැන්නක් සිදුවුණු පළමු අවස්ථාව මෙය නොවන බව සජිත් ඇතුළු පිරිසට පෙන්වා දුන් මරික්කාර් හා හරින්, අවම වශයෙන් කතානායකවරයා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කළ යුතු බව කියා සිටියේය.
කිරිඇල්ල ජාත්‍යන්තරයට යයි!
නමුත් ඊට ඇතැම් මන්ත්‍රීවරුන් නම් වැඩි එකඟතාවක් දැක්වූයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ එතරම් දැඩි ස්ථාවරයකට පළමු අවස්ථාවේ නොගොස් සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්රශ්නය විසඳාගත යුතු යැයි කියාය. නමුත් මරික්කාර්, රාජිත හා හරින් දැඩිව කියා සිටියේ ආණ්ඩුවත් සමග ආරක්ෂාකාරී පිළිවෙතකට ගියහොත් බරපතළ ගැටලුවක් මතු වනු ඇති බවත්, ප්‍රහාරාත්මක ස්ථාවරයක පිහිටා තීන්දු තීරණ ගත යුතු බවත්ය. ඒ අනුව අවසානයේදී සජබ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්නටය. එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම වික්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලට පැවරිණි. එමෙන්ම මෙම තත්ත්වයට එරෙහිව සියලු සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධය දැක්වීමටත් තීන්දු කෙරිණි. මීට අමතරව ජාත්‍යන්තරය දැනුවත් කිරීමටද තීන්දු කෙරිණි.
‘මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා’ යැයි කියමින් කිරිඇල්ල සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් එළියට රැගෙන ආවේ ඒ අනුවය.
පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණි මන්ත්‍රීවරු විරෝධතාවයක් දක්වමින් පිටත්ව ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක්ය.
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණය ගැනීමෙන් පසුව සජිත් ඇතුළු මන්ත්‍රීවරු සූම් සාකච්ඡාවක් පවත්වමින් ගන්නා ඉදිරි පියවර ගැන සාකච්ඡා කළේය.
‘සදුදාට තියෙන්නේ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය. මේ ආණ්ඩුව ජනතාවට නිවාස ලබාදෙනවා කියලා කරපු බොරුව අපි අනාවරණ කරන්න හිටියා. ඒ වෙනුවෙන් අපි වෙනත් අවස්ථාවක් ගන්න ඕනෙ’ ඉමිතියාස් බාකීර් මාකාර් මන්තී‍්‍රවරයා යෝජනා කළේය.
සජබ කාර්යාලය විකල්ප පාර්ලිමේන්තුවක් කරයි!
‘අපි විපක්ෂයේ පාර්ලිමේන්තුව විදියට අපේ අදහස් ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගය කාර්යාලයේදී අඛණ්ඩ ප්රවෘත්ති සාකච්ඡා පවත්වමු’ හරින් යෝජනා කළේයඒ අනුව පාර්ලිමේන්තුව වර්ජනය කළ මන්ත්‍රීවරු සමගි ජන බලවේගය කාර්යාලයේ සිට සිය අදහස් ඉදිරිපත් කිරීමට තීරණය කළහ. එහෙත් එයට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක් දැක්වීමටද එම සූම් සාකච්ඡාවේදී තීරණය විය.
‘අපි සේරම විරෝධතා පුවරු ටික එවන්නම්’ මරික්කාර් හා හරින් පිරිසට දැනුම් දුන්හ.
ඒ අනුව වර්ජනය දිගටම යද්දී මෙම තත්ත්වය විසඳාලීම සඳහා සභානායකවරයා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගත්තේය. ඒ අතරවාරයේ මනුෂත් මරික්කාරුත් එක්ව සභානායකවරයා වෙත භාරදීම සඳහා පැමිණිල්ලක්ද සකස් කළේය. මනුෂත් මරික්කාරුත් එම පැමිණිල්ල කතානායකවරයාට භාරදීම සඳහා කතානායකවරයාගේ නිල කාර්යාලයට යද්දී එහි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙමින් තිබිණි. ඒ අනුව ඔවුන් දෙදෙනා සාකච්ඡාව නිමවන තෙක් සිටියේ කාමරය ඉදිරිපිට තිබුණු ආසන දෙකක වාඩිගෙනය.
කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමෙන් පසුව මනුෂත් මරුක්කාරුත් කතානායකවරයා හමුවී සිය පැමිණිල්ල භාරදීමට පියවර ගත්හ. එහිදී කතානායකවරයා මනුෂටත්, මරික්කාර්ටත් වර්ජනය අතහැර පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නද මනුෂ සහ මරික්කාර් පෙන්වා දුන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සලසන තෙක් සහ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන තෙක් වර්ජනය නැවැත්විය නොහැකි බවකි. එමෙන්ම ඒ වන විටත් සජබ ජ්‍යෙෂ්ඨයන් මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත්, ජාත්‍යන්තරයටත් යෑමට සූදානම් බවද කතානායකවරයාට දැනුම් දී තිබිණි.
මහින්ද ගහපු දේශපාලන ගේම!
ඒ අනුව සදුදා උදෑසන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු භෝජනාගාරයට ගොස් එක්වී විරෝධතාවයට පැමිණීම පිළිබඳ සාකච්ඡා විය. එතැන් සිට මන්ත්‍රීවරු පහළට එන අතරවාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ තමන්ගේ මෝටර් රථයෙන් බැස ඉදිරියට පැමිණියේය. ඔහු සාමාන්‍යයෙන් පැමිණෙන්නේ මන්ත්‍රී පිවිසුමෙන් නොව කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටුවෙන්ය.
‘විරෝධතාවයට තවත් ටිකක් එකතු කරගන්න ඕන නේ…’ මහින්ද තමන්ගේ සුදුපුරුදු දේශපාලනය ඉදිරියට ගත්තේය.
‘අපේ ඉන්න මන්ත්‍රීවරු හැමෝම මෙතැන එනවා’ ඉමිතියාස් කෙටියෙන් පිළිතුරක් දුන්නේය.
‘අපිට ඕනෙ නම් පොහොට්ටුවේ කලකිරිලා ඉන්න අයටත් එන්න කියන්න තිබුණා. හැබැයි අපි ජනතාව අපිට දුන්න මන්ත්‍රීවරුන්ගෙන් තමයි මේ දේවල් කරන්නේ…’ මහින්ද ගිය පසුව මන්ත්‍රීවරයෙක් කීවේය.
පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවය දැක්වූ මන්ත්‍රීවරු ගියේ සමගි ජන බලවේගය කාර්යාලටය. පාර්ලිමේන්තුවේදී දැක්වීමට නියමිතව තිබූ අදහස් සියල්ල මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කළේ ආණ්ඩුවේ නිවාස වැඩපිළිවෙළ පුස්සක් බව පෙන්වමිනි.
ආණ්ඩුවත් කතානායකවරයා හමුවෙයි!
මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද කතානායකවරයා හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් බාරදීමට පියවර ගෙන තිබිණ. එහිදී ඔවුන් කතානායකවරයාට පෙන්වා දී තිබුණේ මනූෂ කතානායකවරයා වෙත පහර දීමට පැමිණි බැවින් ඉන් කතානායකවරයා බේරාගැනීමට පමණක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මැදිහත් වූ බවත්, විපක්ෂයට පහර දීමට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කටයුතු නොකළ බවත්ය. එමෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අසත්‍ය ප්‍රකාශ පැවසීමට ඉඩ ලබා දිය යුතු නැති බවද පසුපෙළ මන්ත්‍රීවරු කතානායකවරයාට පෙන්වා දුන්හ.
අඟහරුවාදා දිනයේදීත් විරෝධතාවක් පවත්වා පාර්ලිමේන්තුව වර්ජනය කරන විට ආණ්ඩුවත් එන තත්ත්වය හොද නැති බව තේරුම් ගෙන තිබුණි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු රැසක්ම මනුෂට සහ විපක්ෂයේ නායකයන්ට කතා කර තිබුණේ යළිත් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට ඉල්ලීම් කරමිනි. ඇතැම් නායකයන් කතාකර තිබුණේ ආණ්ඩුවේ හැසිරීම් ගැන කලකිරීම්සහගතවය.
මේ අතර කිරිඇල්ල මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට ලිපියක් මගින් දැනුම් දීමට අවශ්‍ය පියවර ගත්තේය.
කතානායක වැඩේ ෂේප් කරයි!
මේ අතර කතානායකවරයා සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී කතානායකවරයා ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වන ලෙසය.
‘විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අතින් පයින් පහරදෙන තත්ත්වයක් අතිවෙලා තියෙනවා නම් ඒක බරපතළයි. ඔබතුමා ආණ්ඩුවේ කතානායක නෙමෙයි. ආණ්ඩුවේ වගේම වික්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න ඉන්න කතානායක ඔබයි…’ කිරිඇල්ල පැහැදිලි කළේය.
‘මේ ගැන සොයන්න මම ආණ්ඩුවෙන් වගේම විපක්ෂයේ නායකයන් එකතු කරලා කමිටුවක් දානවා…’ කතානායක සහතිකයක් දුන්නේය.
‘කමිටුවක් දානවා කිය කිය ඉන්නේ නැතිව කමිටුවට පත්කරන අය පත්කරන්න. මින් ඉදිරියට මේ වගේ තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න…’ සරත් ෆොන්සේකා කළ ඉල්ලීමට කතානායකවරයා එකඟත්වය පළ කළේය.
කතානායකවරයාත් නැවත නැවත කළ ඉල්ලීම් හමුවේ අවසානයේදී සමගි ජන බලවේගය තීරණය කළේ පාර්ලිමේන්තු යාමටය.
‘ආණ්ඩුවට ඒකාධිපති ආකාරයට කටයුතු කරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගන්න ඕනෙ. සමගි ජන බලවේගයට ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් කරන්න පුළුවන් දේ ගැන ආණ්ඩුව දැන්වත් තක්සේරුවක් ඇතිකර ගත්තොත් හොඳයි’ සජිත් කීවේ පාර්ලිමේන්තුවට නැවත යාමේ තීරණය ගැන සඳහන් කරමින්ය.