චීනය ඇයි සජිත්ව හොයන් ළඟටම ආවේ..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1984 එවකට ජනාධිපති ජේ.ආර්.ගේ ආරාධනයක් මත ලංකාවට ආ චීන ජනාධිපති ලී ෂියැන් වෙනුවෙන් පැවැති භෝජන සංග්‍රහයකට එවකට විපක්ෂ නායක අනුර, ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය, ඇයගේ වැඩිමහල් දියණිය සුනේත්‍රාටද ආරාධනා කොට තිබිණි. චීනය සහ බණ්ඩාරනායකවරුන් අතර මිත්‍රත්වය ඓතිහාසික මිත්‍රත්වයකි. යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ රබර් සහ සහල් ගිවිසුම හරහා චීනය රටක් ලෙස ලංකාව පිළිගත්තද ලංකාව චීනය සමග තානාපති සබඳතා ආරම්භ කරන්නේ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩු කාලයේය. 1960ට පසු බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව සහ චීනය අතර ශක්තිමත් සබඳතා වර්ධනය වන අතර මෙම සබඳතා කෙතරම් ආන්දෝලනාත්මක වනවාද කිවහොත් එවකට විපක්ෂය වූ යූ.ඇන්.පී.ය චීනය තානාපති සබඳතා ඉක්මවා ගොස් ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වන බවට චෝදනා කරනු ලැබීය. යූ.ඇන්.පී.ය නොකියා කීවේ චීනය අනියමින් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට උදව් කරන බවය. මේ නිසා චීනය මැතිනියගේත් ශ්‍රීලනිපයේත් සමීපතම මිතුරකු ලෙස ප්‍රකටව තිබිණි. චීනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හදා මැතිනියට දුන්නේ මැතිනියගේ සැමියා සදහටම ලංකාව තුළ සිහිවන ලෙසටය. මැතිනිය සහ චීනය අතර තිබූ මේ ළෙන්ගතුකම නිසාම 1977 පරාජයට පසු මැතිනිය චීන ජනාධිපති හමුවීම දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් විය.

ඒ වන විට ශ්‍රීලනිපයෙන් කැඩීගොස් සිටි මැතිනියගේ මද්දුම දෝණි චන්ද්‍රිකා ගැන චීන ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයේදී සුනේත්‍රා බණ්ඩාරනායකගෙන් විමසීම බණ්ඩාරනායක මැතිනියත් පවුලත් දුටුවේ චීනය ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රශ්න අවුලන්න උනන්දුවක් දක්වන ලෙසටය. ඇත්ත කතාව එය නොවේ. ඒ වන විට චීනය සිටියේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අතිජාත මිත්‍රයකු ලෙසය. ජේ.ආර්.ගේ ආණ්ඩුව බලයට ආ දින සිට චීනය ගැන සැකයෙන් බැලූ අතර චීනය ඒ සැකය දුරුකරන්න එම රාත්‍රී භෝජන සංග්‍රහය ප්‍රයෝජනයට ගෙන ජේ.ආර්.ගේ ආණ්ඩුවට පෙන්නුවේ බණ්ඩාරනායක මැතිනිය හෝ බණ්ඩාරනායක පවුල සමග තමන්ට කැඩිය නොහැකි බැඳීමක් නැති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ චීනයේ ප්‍රතිපත්තියය. චීනය දේශපාලනය කරන්නේ පවතින ආණ්ඩු සමගය. විපක්ෂය සමග දේශපාලනය කරන්න ගොස් අත පුච්චාගන්න චීනය බයය. තමන්ට දැඩි ලෙස පහර ගසපු යූ.ඇන්.පී.ය 1977 බලයට ආ විට චීනය ජේ.ආර්.ගේ ආණ්ඩුවට මිත්‍රත්වයේ හස්තය දිගු කළේ ඒ ප්‍රතිපත්තිය නිසාය. ජේ.ආර්. චීනය දිනාගන්න පාවිච්චි කළේ අගමැති ප්‍රේමදාසවය. ඒ සඳහා විදේශ ඇමැති හමීඩ් ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගත් ජේ.ආර්. චීනය සමග ගනුදෙනු කිරීම ප්‍රේමදාසට භාරදුන්නේය. ජේ.ආර්.ගේ ඒ ගේම ජේ.ආර්. චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.

“ඊළඟට සැලකිල්ලට ගතයුතු වූයේ චීන මහජන සමූහාණ්ඩුවය. නව රජය පත්වූවාට පසු එරටට යැවුණු පළමු රාජදූත ගමන් කාර්යය ජේ.ආර්. පැවරුවේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාසටය. දෙරට විසින්ම මෙම ගමන ඉතා වැදගත් කොට සැලකිණි. මුලදී පෙර ගමන් කණ්ඩායමක් ලෙස මසකට පෙර එහි ගිය චීනය පිළිබඳ පළපුරුදුකම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් ප්‍රේමදාසයන් සැප්තැම්බර් මස එන ගමන සඳහා කටයුතු සැලසුම් කළේය. අගැමති ප්‍රේමදාස පිළිගත් උද්‍යෝගයත්, ගමනට චීන පුවත්පත්වල ලැබුණු ප්‍රසිද්ධියත් අනුව බලන විට එම සංචාරය ඉතා වැදගත් ලෙස චීන රජය සැලකූ බව පෙනුණි. සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසට පෙනුණු පරිදි ප්‍රේමදාස පිළිගැනීම සඳහා සූදානම් කර තිබුණු විසිතුරු සැලැස්ම ශ්‍රී ලංකාව ලෝක කටයුතුවලදී දරන ස්ථානය ඉක්මවා යන තරම් ඉහළින් තිබිණි. ඇතැම් අයට මෙය පෙනුණේ ඉන්දීයයන්ට රිදවීමට චීනුන් යෙදූ උපක්‍රමයක් ලෙසටය.

ප්‍රේමදාස තමා පිළිගත් චීන නායකයන් අමතා කළ කතාවකින් චීනය හා සමග ශ්‍රී ලංකාව පවත්වාගත යුතු සබඳතාව පිළිබඳ තම රජයේ දෘෂ්ටිය පැහැදිලි කළේය. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් පිළියෙල කෙරුණු මේ ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු දෙකක් අන්තර්ගත විය. දකුණු හා අග්නිදිග ආසියාවේ සාධනීය භූමිකාවක් රඟපෑ හැකි ප්‍රබල චීන රාජ්‍යයක් තිබීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේය. එසේම එක් තනි රටක් හෝ රටවල් සන්ධානයක් විසින් දකුණු හා අග්නිදිග ආසියාවේ දේශපාලන ආධිපත්‍යය දැරිය යුතු නොවේ. ප්‍රේමදාස කෙළින්ම නොකිවුවත් ඔහුගේ සිත්හි තිබුණේ ඉන්දීය ආධිපත්‍යයට නතුවූ දකුණු ආසියාවක් ගැනත් වියට්නාමයේ තර්ජනයට භාජන වූ අග්නිදිග ආසියාවක් ගැනත් බව ඔහුට කන්දුන් අයට පැහැදිලි විය. එසේම මේ ප්‍රදේශ දෙකේම සෝවියට් දේශය තමාම හෝ (ඇෆ්ගනිස්ථානයේදී මෙන්) තම සිතැඟි ඉටුකරන කොමියුනිස්ට් සගයන් මගින් හෝ වියට්නාමය වැනි මිත්‍ර රටක් මගින් හෝ රඟපාමින් සිටි භූමිකාවද මෙහිදී වැදගත් විය.

දෙවැනිව, පක්ෂයක් වශයෙන් එ.ජා.ප.ය චීන රජය හා සමග සුහද හා සමීප සබඳතාවක් පිහිටුවා ගැන්මට උත්සුක විය. අතීතයේදී එ.ජා.ප.ය හා චීන රජය අතර සබඳතා එතරම් යහපත් නොවූවත් ජේ.ආර්. යටතේ පක්ෂය නව ඇරැඹුමක් අපේක්ෂා කළේය. ඇත්තෙන්ම එබඳු සබඳතාවක් සඳහා කෙරුණු පළමු යෝජනාවන්ට චීන්නු ඉමහත් උද්‍යෝගයකින් ප්‍රතිචාර දැක්වූහ. එ.ජා.ප.ය බලයට පත්ව 1977 වසරේ සිට චීනය නව එ.ජා.ප. රජය කෙරේ වෙනස් අන්දමකින් බලන බැව් පෙනෙන්නට තිබිණි. එ.ජා.ප. රජය සමග මිත්‍ර සබඳතා පවත්වා ගැන්මට චීනය අපේක්ෂා කරන බවට පළමු පැහැදිලි ඉඟිය පළවූයේ අපේ වෙළෙඳ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි සහල්-රබර් ගැන සාකච්ඡා කිරීම පිණිස බීජිං නුවරට ගිය විටය. චීනය මෙම නව සම්බන්ධතාව හුවාදැක්වීම පිණිස අතීතයේ එම රට ශ්‍රීලනිප රජය වෙත දැක්වූ අන්දමේ පරිත්‍යාගශීලීත්වයකින් යුතුව භෞතික ප්‍රදානයක් කළ යුතු යැයි ප්‍රේමදාස කියා සිටියේය. මෙයින් අදහස් වුණේ සෑහෙන ප්‍රදානයක් හෝ ණය මුදලක් ආකාරයේ ආර්ථික ආධාරයක් හෝ නව රජයට ලැබිය යුතු බවය.

මේ අවස්ථා දෙකේදීම චීනයෙන් සාරථක ප්‍රතිචාර ලැබිණි. ඔවුහු අග්නිදිග ආසියාවේදී තම අරමුණු ඉටු කරගැන්ම පිණිස අනුගමනය වියයුතු ප්‍රතිපත්තිමය කාර්යය කවරේදැයි නිර්ණය කළහ. ඒ අනුව චීන නායකයන් තම අමුත්තන්ට ප්‍රකාශ කළේ එම ප්‍රදේශ අරබයා තම දෙරට අතර මූලික එකඟතාවක් තිබෙන බවය. දෙවැනි ඉල්ලීම ගැන ඔවුන්ගේ අදහස වූයේ මම නව වඩා සමීප මිත්‍රත්වය ශක්තිමත් කරගැන්ම සඳහා ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පැවැති ආර්ථික ප්‍රතිසංස්කරණයට ආධාරක වීමට තමන්ට පුළුවන් බවය. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 25ක (එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ) ණය මුදලක් ඉතා යහපත් කොන්දේසි යටතේ ලබාදීමට ඔවුහු ඉදිරිපත් වූහ.”

එදා ජේ.ආර්. චීනය දිනාගන්න පාවිච්චි කළ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස සොයාගෙන චීන තානාපතිවරයා ආවේ චීනය විපක්ෂය සමග ගනුදෙනු නොකරන ප්‍රතිපත්තිය කඩකරමින්ය. චීන තානාපති සජිත් හමුවූයේ සජිත්ගේ සමගි ජන බලවේගයේ ‘හුස්මක්’ වැඩසටහනට මුදල් පරිත්‍යාගයක් කරමින්ය.

‘චීනයට මොකද එක පාරටම වුණේ…?’

ප්‍රේමදාස ඝාතනයවී 1994 චන්ද්‍රිකාගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ විට චීනය යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ පැත්තවත් නොබලපු බණ්ඩාරනායකලාට සහ ශ්‍රීලනිපයට යළි ළංවීය. චන්ද්‍රිකාගේ සැමියා වූ විජය කුමාරතුංග සිහිවන්න චීනය නෙලුම් පොකුණ සංස්කෘතික මධ්‍යස්ථානය හදලා දුන්නේය. එයට විජය කුමාරතුංග සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස නම් තබන්න නියමිත වුවත් මහින්දගේ පාලන කාලය තෙක් එහි වැඩ නිම කරන්න නොහැකි විය. මහින්ද ජනාධිපති වී එය විවෘත කරන විට නෙලුම් පොකුණ කියා දැම්මත්, චීනය එයට එරෙහි නොවීය. මහින්ද ජනාධිපති කාලයේ චීනය චන්ද්‍රිකා හෝ රනිල් හෝ යූ.ඇන්.පී.ය දිහා ඇහැක් ඇර බැලුවේ නැත. ඔවුන් ගනුදෙනු කළේ මහින්දලා සමගය. 2015 මහින්ද පරාජය වූ විට චීනය මෛත්‍රී සහ රනිල් ආණ්ඩුවට සමීප විය. මෛත්‍රිගේ පෞද්ගලික ව්‍යාපෘතියක් වූ වකුගඩු රෝහල පොළොන්නරුවේ ඉදිකරන්න චීනය කැමැත්ත පළ කළේය. ඒ කාලයේ චීනය රාජපක්ෂලාව හලන්න බැරි බව දැන රාජපක්ෂලාව තියාගත්තේ අතේ දුරින්ය. ඒ, චීනය තමන්ගේ ගජමිතුරා වුණත් විපක්ෂයේ දේශපාලන නායකයන් සමග සබඳතා පැවැත්වීමේදී ආණ්ඩුව සමග ප්‍රශ්න ඇතිකර නොගන්න පරෙස්සම් වූ නිසාය. හැබැයි 2018 මෛත්‍රි රනිල්ව ඉවත් කොට මහින්දව අගමැති කළ විට මහින්දව බැහැදකින්න ආ පළමු විදේශ තානාපතිවරයා චීන තානාපතිය.

එහෙව් චීනය ලංකාව සමග සබඳතා පැවැත්වීමේ ඒ අතීත සම්ප්‍රදාය කඩා බිඳ දමමින් සජිත් හමුවූයේ නිකම්ම නොවේ. ගෝඨාභය – මහින්ද ආණ්ඩුව 2015 මහින්දගේ ආණ්ඩුව පරාජය කළේ ඉන්දියාව සහ ඇමෙරිකාව බව දැන යළි ඉන්දියාව සහ ඇමෙරිකාව ඒ ගේම ගහයි කියන බයට චීනය දෙකේ කොළයට දමා ඉන්දියාව සහ ඇමෙරිකාව පිනවන්න යන බව චීනයට තේරුම් ගොස් ඇත. ඒ සඳහා උදාහරණ දෙකක් නම් චීන පොහොර නැවට සහ උතුරේ දූපත්වල චීන විදුලි ව්‍යාපෘතිවලට ගෝඨා-මහින්ද ආණ්ඩුව දක්වපු හිරිකිත ප්‍රතිචාරයය. ගෝඨා-මහින්ද ආණ්ඩුව එසේ කළේ ආණ්ඩුව මෙරට විදේශ සංචිත අර්බුදය විසඳන්න චීනයෙන් ණය ඉල්ලුවත් චීනය දීම ප්‍රමාද කළ නිසාය. චීනයත් එසේ කළේ රාජපක්ෂලාට විදේශ සංචිත අර්බුදය කළමනාකරණය කරගැනීමට නොහැකි බව හොඳින් තේරුම් ගෙනය. දැනටමත් ලංකාව චීනයට බිලියන ගණනක් ණයය. තව ණය දුන්නොත් චීනය අමාරුවේ වැටෙන බව චීනය තේරුම් ගන්න ඇත. චීනය ණය දීමට කල් මරද්දී ගෝඨා-මහින්ද ආණ්ඩුව සුහදව එම ගනුදෙනුව බේරා නොගෙන චීනයට පාට් දැම්මේ අපිට ඉන්දියාව සහ ඇමෙරිකාව ඉන්නා බව පෙන්වමිනි. චීනය ගෝඨා-මහින්ද ආණ්ඩුවේ මේ පාට් එකට හොඳ උත්තර තුනක් දුන්නේය. පළමුවැන්න චීන පොහොර නැව ගනුදෙනු කළ මහජන බැංකුව අසාදු ලේඛනයට දැමීමය. දෙවැන්න උතුරේ දූපත් තුනේ විදුලිබල ආයෝජනය මාලදිවයිනට පැවරීමය. තෙවැන්න පොහොර නැව සම්බන්ධයෙන් ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට යෑමය.

චීනය සජිත් හමුවෙන්න ගියේ මෙම උත්තර තුන දීලාය. සාමාන්‍යයෙන් චීනය ලංකාවේ පමණක් නොව ලොව හැම තැනකම නායකයන්ගේ කැමැති ව්‍යාපෘතිවලට ආධාර කරන්නේ ඔවුන් බලයේ සිටියදීය. මැතිනියට සම්මන්ත්‍රණ ශාලාව දුන්නේ, චන්ද්‍රිකා වෙනුවෙන් නෙලුම් පොකුණ හැදුවේ, මහින්ද වෙනුවෙන් හම්බන්තොට කේන්ද්‍රස්ථානයක් කළේ, මෛත්‍රී වෙනුවෙන් පොළොන්නරුවේ වකුගඩු රෝහල හැදුවේ ඔවුන් අගමැති ධුර, ජනාධිපති ධුර දරද්දීය. චීනය සජිත්ගේ කැමැති ව්‍යාපෘතිය වූ ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනට මුදල් දෙන්නේ ඔහු විපක්ෂ නායක ලෙස සිටියදීය. සාමාන්‍යයෙන් ඉන්දියාව වුවද බලවත් රජයක් තිබියදී විපක්ෂය සමග ගනුදෙනු කිරීමට බයක් දක්වයි. චීනය බය සැක නැතුව සජිත්ට ආධාර කළේ රට යන අත හොඳට අධ්‍යයන කොට සජිත් රටේ ඊළඟ නායකයා බව දැනගෙනය. රාජපක්ෂලාට රිද්දන්න චීනයට මෛත්‍රීට, විමල්ගේ සන්ධානයට උදව් කළ හැකිව තිබිණි. චීනය කියන්නේ තමන් වියදම් කරන ශතයක්වත් අපතේ යවන්න කැමැති ජාතියක් නොවේ. සජිත්ගේ පියා ප්‍රේමදාස සමග චීනයේ තිබුණු මිත්‍රත්වය චීනය දනී. 2002 රනිල් අගමැති වී චීනයට යද්දී ඒ කාලයේත් ඔහු යූ.ඇන්.පී.යෙන් කොන්කර තිබූ සජිත්ව රැගෙන ගියේ යූ.ඇන්.පී.යත් චීනයත් අතර පාලම හදපු ප්‍රේමදාසලාට චීනය ගරු කරන බව දැනගෙනය. ඉන්දියාව මෙලෙස සජිත්ට ආධාර කළේ නම් රාජපක්ෂලා ඉන්දියාවට පාඩම් උගන්වන්න චීනයට උතුරේ දූපතක් ලියල දෙනු ඇත. ඒත් චීනය ඉදිරියේ රාජපක්ෂලා හිඟන්නන්ය. ලංකාව චීනයට බිලියන ගණනක් ණයය. රාජපක්ෂලාගේ ගැළවීම කොළඹ වරාය නගරයය. අනෙක චීනය රාජපක්ෂලා සමග කළ රහස් ගනුදෙනුවල සාක්ෂි ඇත්තේ චීනයේය. මේ නිසා චීන මකර නැටුම් ඉදිරියේ රාජපක්ෂලා අන්ත අසරණය.

‘මේ නැටුම කොහෙන් කෙළවර වෙයිද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. ශ්‍රීලනිපය විමල්ලාගේ සන්ධානය රාජපක්ෂලා සමග වැළලෙන්න ගියාට චීනය එහෙම වැළලෙන්න ලෑස්ති නැත. චීනය ලංකාවට කර ඇති ආයෝජන බිලියන ගණනකි. එය ආරක්ෂා කරගැනීම චීනයේ කපටි සූත්තරයය. සජිත්ද මේ සූත්‍රය නොදන්නවා යැයි සිතිය නොහැකිය. ඔහු යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමැති කාලයේ නරේන්ද්‍ර මෝදි ගම්මානයක් තිස්සමහාරාමයේ හැදුවේය. මෝදි එයට පැහැදී ලංකාවට ආ පළමු සංචාරයේදී සජිත්ගේ නිවාස වැඩපිළිවෙළට මුදල් ආධාර දෙන්න පොරොන්දු විය. සුබසාධනය සඳහා පරම හතුරන් වූ චීනයත් ඉන්දියාවත් බැලන්ස් කරගෙන අතුරේ යන ගමන ඔහු හොඳින් හුරු පුරුදු කරගෙන ඇත. ඒ දේශපාලනඥයකු ලෙසය. රාජ්‍ය නායකයා වුණොත් ඔහු ඒ ගමන කොහොම යයිද කියා අනාවැකි කියන්න තවම කල් වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු