පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු පහරදීම් ගැන පරීක්ෂණ නතර කළේ රනිල් සහ මහින්ද එකතු වෙලා : කරුගෙන් චෝදනාවක්
2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එම විමර්ශන නතර කිරීමට සිදුවූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම් මත බවද ජයසූරිය මහතා පෙන්වා දෙනවා.
රටේ අවාසනාවකට එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ නවතා දමන මෙන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධාන පෙලේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ද , පොලිසියට නියෝග කොට තිබෙන බව ද හිටපු කතානායකවරයා පළමුවරට හෙළි කළේය.
ඇති වූ නොසන්සුන්තාවය අතරමැද තමාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වූ බවද ඔහු සඳහන් කරනවා.
වත්මන් දේශපාලන තත්වය පිළිබඳව දැඩි කළකිරීමෙන් සිටින බවත්, විශේෂයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට ඉතා භයානක ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස හැඳින්විය හැකි බවත් පවසන කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ රටට ආයෝජකයන් අහිමිවීමටද මෙම ව්‍යවස්ථා සංශෝධනය හේතු වී ඇති බවයි.
‘ව්‍යවස්ථා කුමන්ත්‍රණය’ අවස්ථාවේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනවිත්, පුටුවලින් ගසමින්, මන්ත්‍රීවරුන්ට පහරදෙමින් කළ ප්‍රහාරය සැලසුම් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පදවියෙන් පහකරනු ලැබූ රනිල් වික්‍රමසිංහ යළි පදවියේ පිහිටුවීමට බලකරමින් ප්රජාතන්ත්රවාදය පිණිස එතරම් සටන් කළත් “බලය සඳහා ඒ විදියට අපිව පාවා දෙනවා නම්, එහෙම දේශපාලන ලෝකෙක ජීවත්වෙන්න වීම ගැන ලොකු කලකිරීමක් තියෙනවා,” යනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය.
ඔහු ඒ බව කියා සිටියේ ‘Sandeshaya by Saroj’ යූටියුබ් නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේ වැඩිහිටි නිවාසයක උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ තමන්ට ඇසිඩ් ගැසීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබූ බවත් ඔහු කියා සිටියේය.