චීන නිලධාරියෙක් ලොකු සත්තමක් දාලා! : මහින්ද විමල්ව උස්සයි.. ගම්මන්පිල හලයි!
පැරදුණා කියපු බැසිල් ආපිට ගහපු ගේම! චීන නිලධාරියෙක් රාජ්‍ය ආයතනයකදී ලොකු සත්තමක් දාලා! අධිවේගය විවෘතයට බැසිලුත් නෑ.. රාජ්‍ය ඇමැති ලන්සාත් නෑ..මන්ත්‍රීවරුත් නෑ! මහින්ද විමල්ව උස්සයි.. ගම්මන්පිල හලයි! (රාජ්‍ය රහස්)
සමුගැනීමේ සාදයේ වෙච්ච වැඩෙන් පී.බී. අන්තෙටම කලකිරෙයි!
නරේන්ද්රටත් ඉහළින් ගිය අගමැති ආරක්ෂකයේ ලොක්කෙක්!
රන්ජන්ව බලන්න හිරගෙදරට යන ජනපතිට හිතවත් කෝටිපතියා!
හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම අතිවිශේෂ තොරතුරු රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අනාවරණ කළෙමු. එහිදී පී.බී. ජනාධිපති ලේකම් තනතුරෙන් ඉවත් කළ යුතු බවට යෝජනාව ඉදිරිපත් වූ රැස්වීමේ සිට පී.බී. සිය තනතුර අත්හැර යන දිනය දක්වාම වූ වෙනත් කිසිදු මාධ්‍යයක පළ නොවූ විශේෂ තොතුරු අපි එහිදී පාඨකයන් වෙත රැගෙන ආවෙමු. එහිදී පළමු වරට අප මේ පිළිබඳ වාර්තා කළේ රාජපක්ෂ පවුලේ සියලු නියෝජිතයන් සහභාගි වූ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවය. ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා ගොස් සිටියදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, චමල් රාජපක්ෂ මහතාත් සහභාගි වී සිටි සාකච්ඡාවකදී පී.බී.ව ඉවත් කිරීමේ අවසන් තීන්දුව ගත් බවද අපි සඳහන් කළෙමු. එහිදී පී.බී. වෙනුවට ගාමිණී සෙනරත් පත් කිරීමට තීන්දු වූ බවද අපි අනාවරණ කළෙමු.
පී.බී. ගහන්න යන අලුත්ම ගේම
ඉන් අනතුරුව අප පසුගියදා ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී පී.බී.ගේ විශ්‍රාම දිවිය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක තොරතුරුද පළ කළෙමු. එහිදී අප කියා සිටියේ එක් කර්තෘවරයකු පී.බී. මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරකට පත්වන බවට පළකර ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසද්දී ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් පී.බී. කිසිදු තනතුරකට නොඑන බව අදාළ කර්තෘවරයාට සඳහන් කළ බවය. එමෙන්ම පී.බී. අතීත තොරතුරු සඳහන් කරමින් පොතක් ලිවීමට තීරණය කර ඇති ආකාරයත්, පසුගිය සතියේ විදේශයක සිටින හිතවතකුට ආන්දෝලනාත්මක වට්ස්ඇප් පණිවුඩයක් යොමුකර තිබූ ආකාරයත් අපි වාර්තා කළෙමු. එම වට්ස්ඇප් පණිවුඩයෙන් ‘ලංකාව බේරාගන්න පුළුවන් දෙවියන්ට පමණයි’ යනුවෙන් පී.බී. කියා සිටි බවද අපි වාර්තා කළෙමු.
සමුගැනීමට ලොක්කො කවුරුත්ම නෑ
මේ ආකාරයට පී.බී. සම්බන්ධයෙන් වාර්තා කළ අප මෙවර වාර්තා කිරීමට සූදානම් වන්නේ තවත් විශේෂ තොරතුරකි. එනම් පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පී.බී.ගේ සමුගැනීමේ අවස්ථාවේදී සිදුව තිබූවකි. අපට දැනගන්නට ඇති අලුත්ම ආරංචිවලට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වී ඇති මෙම සමුගැනීමේ අවස්ථාවේදී පී.බී. හට විශාල සිත රිදවන සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබේ. අදාළ සමුගැනීමේ උත්සවය පැවැත්වෙන අවස්ථාවේදීම අපට එහි ඡායාරූපද ලැබුණු අතර ඒවා අප ‘මව්රට නිවුස්’ වෙබ් අඩවිය ඔස්සේ අතිවිශේෂ පුවතක් ලෙස ඒ අවස්ථාවේදීම පළකිරිමටද පියවර ගත්තෙමු. එම ඡායාරූප දුටු අපටද පී.බී. වැනි අති දැවැන්ත චරිතයක්, ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ කටයුතු කළ චරිතයක් මේ ආකාරයට චාම් අයුරින් විශ්‍රාම යා යුතුද යන ප්රශ්නය පැනනැඟුණි. අප එසේ කියන්නේ මෙම ඡායාරූපවල පවා පී.බී. තරමක කලකිරීමකින් පසුවන ආකාරයක් දැකගන්නට ලැබුණු නිසාය. වසර ගණනාවක් තිස්සේ ආණ්ඩු ගණනාවක කටයුතු කර තිබූ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියකු වීම හේතුවෙන් තමන්ට අති උත්කර්ෂවත් සමුගැනීමේ සාදයක් පවත්වනු ඇති බවට විශ්වාසයක් පී.බී.ගේ සිතේ නිසැකවම තිබෙන්නට ඇත. එම සමුගැනීමේ සාදයට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සහ නිලධාරීන් පැමිණ තමන්ට උණුසුම් සමුගැනීමක් ලබාදෙනු ඇතැයිද පී.බී. සිතා සිටින්නට ඇත. නමුත් මෙම සමුගැනීමේ අවස්ථාවේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ආණ්ඩුවේ අමාත්‍යවරුන් පමණක් නොව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෝ සහභාගි වී නොසිටීමය.
කලකිරීමෙන් පසු ගත් තීන්දුව
මේ හේතුව මත පී.බී. දැඩි කලකිරීමකින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සමුගෙන ගොස් ඇති බව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවේ. මේ හේතුව නිසාම පී.බී. කලින් සිටි ස්ථාවරයේ යම් වෙනසක් සිදුකර ඇති බවක්ද ආරංචිය. කලින් පී.බී. සිටියේ විශ්‍රාම ගැනීමෙන් පසු පූර්ණ වශයෙන් රාජකාරි කටයුතුවලින් ඉවත්ව නිශ්ශබ්ද, විවේකී ජීවිතයක් ගතකිරීමටය. නමුත් මෙම සිදුවීමත් සමග තවදුරටත් නිහඬව නොසිටින්නට පී.බී. තීන්දු කර ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව පී.බී. තීන්දු කර ඇත්තේ තමන් සතුව ඇති යම් යම් ආන්දෝලනාත්මක තොරතුරු විටින් විට මාධ්‍ය හරහා රටට කීමටය.
පී.බී.ට ගෑවුණු අයටත් යන්න වෙයි!
කෙසේ වෙතත් පී.බී. යනු මාධ්‍ය සමග එතරම් සමීප සබඳතාවක් පැවැත්වූ රාජ්‍ය නිලධාරියකු නොවේ. පී.බී. එදා සිටම ගනුදෙනු කළේ තෝරාගත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග පමණි. ඔවුන් පී.බී.ට අවශ්‍ය පුවත්, අවශ්‍ය අවස්ථාවල තම තමන්ගේ මාධ්‍ය ආයතන හරහා රටට අනාවරණ කළේය. ඒ අනුව පී.බී. ගෙන ඇති අලුත් තීන්දුවලට අනුව ඉදිරියේදී එම මාධ්‍ය හරහා උණුසුම් තොරතුරු විටින් විට පළවීමේ ඉඩකඩක් තිබේ. ඒ අනුව බොහෝ දෙනා පී.බී. ගෙදර යැවූ පසු පී.බී.ගේ පරිච්ඡේදය අවසන් වනු ඇතැයි සිතා සිටියත් මෙම නව තීන්දුව හරහා පී.බී.ගේ පරිච්ඡේදය අවසන් නැති බවත්, වරින් වර පී.බී. කරළියේ හොල්මන් කිරීමට කටයුතු කරනු ඇති බවත් පෙනෙන්නට ඇති කාරණයකි.
මීට අමතරව පසුගිය කාලවලදී පී.බී. සම්බන්ධයෙන් එල්ලවූ තවත් චෝදනාවක් පිළිබඳවද පී.බී.ගේ නික්ම යෑමත් සමග ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවක් දැකගන්නට තිබේ. ඒ, පී.බී. ජනාධිපති ලේකම්වරයා වශයෙන් සිටියදී තමන්ට හිතවත් පුද්ගලයන් රැසක් ප්‍රධාන අමාත්‍යාංශවලට පත්කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ හරහා පී.බී. අදාළ අමාත්‍යාංශ නිල නොවන ආකාරයට පාලනය කළ බවද එහිදී කියැවිණි. මෙම සිදුවීමෙන් ඇමැතිවරුන් අභිභවා ලේකම්වරුන් බලවත් වූ බවත්, පී.බී. අකැමැති පුද්ගලයන් මෙම ලේකම්වරුන් හරහා පසෙකට කිරීමට කටයුතු කර ඇති බවත් එම චෝදනාවලින් වැඩිදුරටත් කියැවිණි. එය රාජ්‍ය සේවයේ අදටත් පවතින්නේ ප්‍රසිද්ධ රහසක් ලෙසය.
ඇමැති සංශෝධනය වෙනුවට ලේකම් සංශෝධනයක්!
ඒ අනුව මේ වන විට පී.බී.ගේ නික්ම යෑම හරහා පී.බී.ට හිතවත්ව සිටි අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාරුවක්ද සිදුකිරීමට ආණ්ඩුවේ ප්‍රබල තැන්වල අවධානය යොමුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පසුගිය දින කිහිපයේදී ආණ්ඩුවේ ප්‍රබලයන් අතර සිදුව ඇති බවත්, එහිදී පී.බී.ට සම්බන්ධ ලේකම්වරුන්ගේ නම් ලැයිස්තුවක් පවා සකස් වී ඇති බවත් දැනගන්නට ඇත. ඉදිරි දින කිහිපය ඇතුළත මෙම අමාත්‍යාංශවල ලේකම්වරු වෙනස් කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව ඇති අතර, ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ අමාත්‍යවරුන් අභිභවා යමින් ලේකම්වරු පාලනය කරන පරිපාලන ව්‍යුහයක් සකස් කරනවාට වඩා ලේකම්වරුන්ට අමාත්‍යවරුන් පාලනය කිරීමට ඉඩ නොදෙන පරිපාලන ව්‍යුහයක් ඇතිකිරීමටය. පසුගිය කාලය පුරාම අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රබල වී ඇති බවට අමාත්‍ය විමල් වීරවංශ ආණ්ඩුවේ ප්‍රධානීන්ට කිහිප වරක් දැනුම්දී තිබීම මත ඉදිරියේදී මෙම නව ලේකම්වරුන් පත්කිරීමේදී ඇමැතිවරුන්ගේ මතය විමසීමටද ආණ්ඩුව තීරණය කර ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍ය මණ්ඩල සංශෝධනය වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් සිදුවීමට නියමිතය.
අධිවේගය විවෘතයට ආණ්ඩුව 100%ක් ශක්තිය යොදවයි!
අර්බුද රැසක් මැද ආණ්ඩුව සිටින අවස්ථාවක පසුගිය සතියේදී ආණ්ඩුවේ ගැලවුම්කාරයා බවට පත්ව තිබුණේ වෙන මොකක්වත් නොව මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගයය. මේ නිසාම ආණ්ඩුව තීන්දු කර තිබුණේ මධ්‍යම අධිවේගය විවෘත කරන අවස්ථාව රටටම දැනෙන ලෙස අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමටය. මේ සඳහා ජනාධිපතිවරයා හා මහාමාර්ග අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වෙන ආකාරයක් දැකගත හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත්, ඒ හරහා ආණ්ඩුවට නව ජවයක් ලබාගැනීමටත් තීන්දු වී තිබිණ. එමෙන්ම එම උත්සවයට ආණ්ඩුවේ ශක්තිය 100%කින්ම ලබාදීමටත් යෝජනා විය.
ලිට්රෝ සභාපතිගේ අර්බුදය ඉවරම නෑ!
කෙසේ වෙතත් මෙම මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට දින කිහිපයක් තබා ආණ්ඩුව ඇතුළේ යම් මතගැටුමක් මතුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඊට හේතු වූයේ ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ සම්බන්ධ සිදුවීමය. ගෑස් අර්බුදය හේතුවෙන් තෙෂාරව එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ලිපියක් නිකුත් කර තිබුණද ඊට පසු දිනම ජනාධිපතිවරයා එම ලිපිය ඉවත් කරගන්නා ලෙස ආටිගලටම දැනුම්දීම එම මතගැටුමට හේතුවී තිබිණි. එම ලිපිය හරහා තෙෂාර වෙනුවට රේණුක පෙරේරා පත්කරන බවටද මුදල් අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබිණි. කෙසේ වෙතත් මේ අයුරින් තෙෂාරව ඉවත් කිරීම අත්හිටුවීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හරහා කිසියම් පණිවුඩයක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ බව බොහෝ දෙනාගේ මතය විය.
බැසිල් ආවේ නැත්තේ ඇයි!
මධ්‍යම අධිවේගය විවෘත වූයේ මෙම සිදුවීම සිදුවී දින කිහිපයකට පසුවය. එහිදී ජනාධිපතිවරයාගේ වේගවත් කතාවත්, අගමැතිවරයාගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ කතාවත්, ජොන්ස්ටන්ගේ උද්වේගකර කතාවත් මුල් කරගෙන අධිවේගී මාර්ගය විවෘත කිරීම බොහෝ ඉහළින් රටේ ජනතාවට දැකගන්නට ලැබුණත් කිසිවකුටත් නොපෙනුණු කරුණු කිහිපයක්ද එම උත්සවයේදී කිහිප දෙනකුට දැකගන්නට ලැබිණි. එනම් ආණ්ඩුවේ ශක්තිය 100%ක්ම මෙම උත්සවයට ලබාදීමට යෝජනා කර තිබියදී පවා මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ඊට සහභාගි නොවී සිටීමය. මෙහිදී ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් පමණක් නොව ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ද, ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන්ද උත්සව වේදිකාවේ දැකගන්නට නොලැබුණු අතර, විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගි නොවී සිටීම විශේෂ සිදුවීමක් විය.
රාජ්‍ය ඇමැති ලන්සාත් නෑ! මැති ඇමැතිවරුත් නෑ!
එමෙන්ම කිසිවකුටත් නොපෙනුණු කරුණ වූයේ ජොන්ස්ටන්ගේ රාජ්‍ය අමාත්‍යවරයා වන නිමල් ලන්සාද ඊට සහභාගි නොවී සිටීමය. ලන්සා සැලකෙන්නේ බැසිල්ගේ ළඟම හිතවතකු ලෙසටය. පසුගිය කාලයේදී ලිට්රෝ සභාපති තෙෂාරට ප්‍රසිද්ධියේම බරපතළ චෝදනාවක් එල්ල කරමින් ඔහු එම තනතුරෙන් පන්නා දැමිය යුතු බවට මාධ්‍ය හමුවේ කියා සිටියේද නිමල් ලන්සාය. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේදී එදිනම රාත්‍රියේ කොල්ලුපිටිය රමාඩා හෝටලයේ සුසිල් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කළේද ලන්සාය. එම නිසා තමන්ගේ විෂය පථයට අයත් උත්සවයට ලන්සා සහභාගි නොවීම බොහෝ දෙනා විමතියට පත්වූ කරුණක් වී තිබිණි. මීට අමතරව තවත් සැලකිය යුතු මන්ත්‍රීවරුන් ප්‍රමාණයක්ද මෙම උත්සවයට සහභාගි නොවුණු නමුත් මාධ්‍ය මේ කිසිවක් වාර්තා කිරීමට පියවර ගෙන තිබුණේ නැත. නමුත් ඒ හරහා ප්‍රබල පණිවුඩයක් ආණ්ඩුවේ ප්‍රධානීන්ට නිකුත් වී අති බවක් නම් පැහැදිලිවම සඳහන් කළ යුතුව ඇත. ලිට්රෝ සභාපතිවරයාගේ සිදුවීමෙන් එළියට ආ එම ගැටුම තවමත් අවසන්ව නොමැති බවට වූ පණිවුඩයද මේ සිදුවීම හරහා දැකගන්නට තිබේ.
ලන්සා රට නෙමෙයි කොළඹින් පිටලු!
කෙසේ වෙතත් ලන්සා එදින අධිවේගය විවෘත කිරීමේ උත්සවය සහභාගි නොවූ බව අප වෙබ් අඩවිය මගින් වාර්තා කිරීමෙන් පසු බොහෝ දෙනා කියා සිටියේ ලන්සා විදෙස්ගතව සිටිනවා යැයි කියාය. නමුත් අපට ඇති ආරංචිවලට අනුව ලන්සා ඒ වන විට සිටියේ විදෙස්ගතව නොව, කොළඹින් බැහැරවය. එහෙත් ලන්සා ළඟදීම යළිත් වතාවක් විදෙස්ගත වීමට සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ හරහා පැහැදිලිවම දැකගන්නට ඇත්තේ ලන්සා හිතාමතාම එම අවස්ථාවට සහභාගි නොවුණු බවකි. එමෙන්ම එම උත්සව අවස්ථාවට නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ ලේඛනය දෙස හොඳින් බැලුවහොත් ඔවුන් සියලු දෙනාම වඩාත් හිතවත්කම් ඇත්තේ කාටද යන්න පිළිබඳවද පැහැදිලි වනු ඇත.
බැසිල් පැරදුණාද? ගේමක් ගැහුවාද?
කෙසේ වෙතත් ලිට්රෝ සභාපතිවරයාගේ ප්රශ්නය දැන සිටි බොහෝ දෙනා කියා සිටියේ තෙෂාරව එම තනතුරෙන් ඉවත් කිරීමට ගොස් බැසිල් පරාජයට පත්වුණා යැයි කියාය. නමුත් අප දන්නා බැසිල් නම් එසේ ලේසියෙන් පරාජය භාරගන්නා චරිතයක් නොවේ. එසේ පරාජයට පත්ව සිටීමටද බැසිල් සූදානම් නැත. ඒ අනුව පසුගිය සතියේදී පරාජයට පත්වුණා යැයි කී බැසිල් පරාජයට හේතු වූ රේණුක පෙරේරා උපයෝගී කොටගෙනම කිසියම් දේශපාලන ගේම් එකක් ගැසූ ආකාරයක් අපට දැකගන්නට ලැබිණි. බැසිල් ඒ ගේම ගැසුවේද ලිට්රෝ සභාපති මෙන්ම වියත් මගෙන් පත්කළ තවත් සභාපතිවරයකු වූ මිල්කෝ සභාපති ලසන්ත ගුණවර්ධන ඉලක්ක කරගෙනය. ඒ අනුව පසුගිය සතියේ එක් වරම මාධ්‍ය වාර්තා කළ පුවතකින් කියැවුණේ ආණ්ඩුවට සම්බන්ධ දැවැන්ත ආයතනයක් වූ මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වූ ලසන්තව එම තනතුරෙන් ඉවත් කර ඇතැයි කියාය. ඒ වෙනුවට රේණුක පෙරේරාව පත්කර ඇති බවද එම පුවතින් වැඩිදුරටත් කියැවිණි. කෙසේ වෙතත් එය පුවතකට පමණක් සීමා වූ අතර ඒ සම්බන්ධ ලිපියක් හෝ ඡායාරූපයක් හෝ මාධ්‍ය මගින් වාර්තා කර නොතිබීමද විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව මෙම පුවත වාර්තා වීමත් සමග ආණ්ඩුව ඇතුළේ විශාල සංවාදයක් ආරම්භ වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනෙක් මිල්කෝ ආයතනය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට භාරව ඇතැයි සිතා ඔහුට කතා කොට ඒ පිළිබඳ විමසා සිටි ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඇත්තටම මිල්කෝ ආයතනය භාරව තිබුණේ මහින්දානන්දට නොව, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ටය.
ජනාධිපතිතුමා දන්නෙත් නෑ!
ඒ අනුව මිල්කෝ සභාපති ඉවත් කර ඇති පුවත වාර්තා වීමත් සමග ඇතැම් මාධ්‍ය ලිට්රෝ සභාපති ඉවත් කිරීමේ සිද්ධියට සමානවම ඊට විශාල ප්‍රචාරයක් ලබාදෙමින් කටයුතු කර තිබූ අතර යම් යම් බලවේග මිල්කෝ සභාපතිවරයාව මාධ්‍ය හමුවකට පවා රැගෙන විත් තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඔහු සඳහන් කර සිටියේ තමන් ඉවත් කළ පුවත සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත්, තමන්ගේ පාලනය යටතේ මිල්කෝ ආයතනය ලාභ ලබන තැනක් බවට පත් කළ බවත්ය. එමෙන්ම මිල්කෝ සභාපති ලසන්ත මේ පිළිබඳ මහින්දානන්දට ඇමතුමක් ලබාදෙමින් විමසීමක් කර තිබූ අතර මහින්දානන්ද ඔහුට කියා තිබුණේ තමන් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවත්, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව තමන්ට දැනුම්දුන් බවත්ය. පසුව මිල්කෝ සභාපතිවරයා සිය රාජ්‍ය අමාත්‍යවරයා වූ ඩී.බී. හේරත්ටද දුරකතන ඇමතුමක් දී තිබුණු නමුත් ඔහු ඊට පිළිතුරු ලබාදීමට කටයුතු කර නොතිබිණි.
නියෝගය දුන්නේ බැසිල්ලු!
ඒ අනුව ඇමැතිවරුන් බොහෝ දෙනෙක් ඩී.බී. හේරත්ට කතා කොට මෙම සිද්ධියේ ඇත්ත නැත්ත විමසා සිටීමට කටයුතු කර තිබිණි. එහිදී ඩී.බී. හේරත් ඒ මැති ඇමැතිවරුන්ට අතිශය පෞද්ගලිකව සඳහන් කර තිබුණේ තමන්ට බැසිල් කතාකොට එම නියෝගය ලබා දුන් බවත්, බැසිල්ගේ උපදෙස් මත තමන් ලසන්තව ඉවත් කොට ඒ වෙනුවට රේණුක පත් කළ බවත්ය. ඊට අදාළ ලිපියද තමන් මේ වන විට යවා අවසන් බවද ඩී.බී. හේරත් සිය හිතවත් මැති ඇමැතිවරුන්ට දැනුම්දී සිටියේය. හේරත් එසේ කීවද මාධ්‍ය වෙත ඊට අදාළ ලිපියක් ඒ වනවිටත් නිකුත් වී තිබුණේ නැත.
තෙෂාරට ගහපු ගේමම ගහන්න සමහරු ලෑස්ති වෙයි!
මේ නිසාම ඇතැමුන් ලිට්රෝ සභාපතිවරයාගේ සිදුවීමේදී වූ දේට සමාන සිදුවීමක් මිල්කෝ සභාපතිවරයාගේ සිදුවීමේදී සිදුකිරීමට සැලසුම් කර ආකාරයක් දැකගන්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මිල්කෝ සභාපතිවරයා වශයෙන් ලසන්ත ගුණවර්ධන හිටිහැටියේම කිරි ගොවීන්ගෙන් ලබාගන්නා කිරි ලීටරයකට රුපියල් 5ක් වැඩිපුර ගෙවන බව ප්‍රකාශයට පත් කළේය. නමුත් මිල්කෝ සභාපතිවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කොට පැය 24ක් ගතවන්නටත් මත්තෙන් අර්බුදය නිමා කරමින් රේණුක පෙරේරාට මිල්කෝ සභාපති ධුරය බැසිල් විසින් ලබාදෙන ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් විය. එම ඡායාරූපයේ පසෙකින් ඩී.බී. හේරත්ද සිටිනු දක්නට ලැබිණි.
රේණුකට ලියුම දීලා තියෙන්නේ සදුදා!
ඒ අනුව අපි රේණුක එම තනතුරට පත්කිරීම සම්බන්ධ ලිපිය පිළිබඳවද සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ රේණුකට තනතුර ලබාදෙන ඡායාරූපය බ්‍රහස්පතින්දා දිනයේ මාධ්‍යයට නිකුත් කළද, ඊට අදාළ ලිපිය මිල්කෝ සභාපති ලසන්ත එම තනතුරෙන් ඉවත් කළ බවට පුවත පළවූ සඳුදා දිනම රේණුකට ලබාදී ඇති බවකි.
ඒ අනුව දැන් වියත් මගෙන් මිල්කෝ සභාපති පුටුවට ආ ලසන්ත ගුණවර්ධනගේ පරිච්ඡේදය අවසන්ය. ඔහු වෙනුවට බැසිල් විසින් රේණුකව පත්කොට ඊට අදාළ ඡායාරූපයත් ප්‍රකාශයට පත්කොට අවසන්ය. මේ එක් සිදුවීමක් පමණක් වුවත් මෙය පිටුපස ඇති දේශපාලනය ප්රබලය. බොහෝ දෙනා කී ආකාරයට ලිට්රෝ සභාපති ඉවත් කිරීමට ගොස් බැසිල් පරාජයට පත්වූ බව කියැවුණද, රේණුකගේ සිදුවීම හරහා බැසිල් ඊට ප්‍රතිචාර දක්වා ඇති බව පැහැදිලිය. එමෙන්ම බැසිල් මෙහිදී තමන්ගේ මිනිසුන්ව අතහැරීමට සූදානම් නැති බවද සියලු දෙනාටම පෙන්වා අවසන්ය.
චීන නිලධාරියෙක් ලොකු සත්තමක් දමයි!
මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ සිටි ආන්දෝලනාත්මකම තානාපතිවරයා කවුරුන්දැයි කියා විමසුවහොත් සියල්ලන්ම පවසනු ඇත්තේ වත්මන් චීන තානාපතිවරයා වන කී. සෙන්හොංග් මහතා යැයි කියාය. ඊට හේතුව වන්නේ වෙනත් තානාපතිවරුන් මෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවාට වඩා මේ කියන චීන තානාපතිවරයා සටන්කාමී චරිතයක් බවට පත්ව සිටීමය. කොච්චර සටන්කාමීද කියනවා නම් වරක් මේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක නිරත වෙමින්, විවිධ ප්‍රකාශ කරමින් ඉන්දියාව අවුස්සාලීමට පියවර ගත්තේය. තවත් වරෙක චීන පොහොර නැව ලංකාව විසින් භාර නොගැනීම හේතුවෙන් ලංකාවට එරෙහිව නිවේදන නිකුත් කිරීමෙන් නොනැවතී චීන රජය ලවා රාජ්‍ය බැංකුවක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. අනෙක් තානාපතිවරුන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මුණගැසුණද වරෙක මේ චීන තානාපතිවරයා විපක්ෂ නායකවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් මුණගැසී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළා පමණක් නොව, විපක්ෂ නායකවරයාගේ සමාජ සුබසාධන කටයුතුවලට මුල්‍යාධාර පවා ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව පසුගිය කාලය පුරාම ලංකාවේ බලධාරීන්ටත් වඩා මේ චීන තානාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ඇස ගසාගෙන සිටියේ ඉන්දීය සහ ඇමෙරිකානු බලධාරීන්ය.
මාර්ග සංවර්ධන අධිකාරියේ රැස්වීමට ඇවිත්! ලොකු බාල්දියකුත් පෙරළයි!
කෙසේවෙතත් මේ කියන්නට යන්නේ චීන තානාපතිවරයා පිළිබදව නොව චීන තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදුවූ සිදුවීමකි. ඒ අනුව පසුගිය බදාදා සවස 6ට චීන තානාපති කාර්යාලයේ වාණිජ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකට සහභාගි වීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාවට මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීනුත් සහභාගි වී සිටි අතර, හිටි හැටියේම ඊට මෙම වාණිජ ලේකම්වරයා එක්වීමත් සමග කිසියම් අමුතු දෙයක් සිදුවන්නට යන බව අමාත්‍යාංශ නිලධාරීන්ටද ඉවෙන් මෙන් වැටහී තිබිණි. ඔවුන් ඒ සිතුවා වාගේම මොහොතක් යෑමට මත්තෙන් මේ චීන වාණිජ ලේකම්වරයා සාකච්ඡාව මැදදී විශාල බාල්දියක් පෙරළීමට පියවර ගත්තේය. එහිදී බරපතළ ප්‍රකාශයක් සිදුකරමින් චීන වාණිජ ලේකම්වරයා කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීමේදී කොන්ත්‍රාත්කරු වශයෙන් තමන් තෝරාගත්තේ නම් සහ එම ව්‍යාපෘතිය දියත් කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදෙන්නේ චීනයේ එක්සිම් බැංකුව නම් උප කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ පූර්ණ නිදහසද තමන් සතුව පැවැතිය යුතු යැයි කියාය. එවිට එම උප කොන්ත්‍රාත් සමාගම්වල පවතින දැනුම සහ පලපුරුද්ද තේරුම් ගෙන ප්‍රමාද නොවී අදාළ ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ හැකියාව පවතින බවද එහිදී චීන වාණිජ ලේකම්වරයා සාකච්ඡාවේ සිටි අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට දැනුම්දීමට පියවර ගත්තේය. එහිදී කිසිදු ඇඟිලි ගැසීමක් හෝ වාද විවාද පැවැතිය නොහැකි බවද චීන වාණිජ ලේකම්වරයා අවධාරණය කර සිටියේය.
ජොනීත් ගේම අත්නොහරී!
කවදාවත් නොමැතිව මේ ආකාරයට චීන වාණිජ ලේකම්වරයකු පැමිණ විවිධ ඉල්ලීම් සිදුකිරීමත් සමග ජොනීද නිකන් සිටියේ නැත. ඊට එරෙහිව අදහස් දක්වමින් ජොනී කියා සිටියේ ව්‍යාපෘති චීනයට ලබාදුන් පළියට එවැනි තීරණයක් ගත නොහැකි බවය. එම ව්‍යාපෘති රජය මගින් ලබාදෙන ඒවා බවත්, රාජ්‍ය ආයතන හරහා ඒවා සිදුවන බවත් කී ජොනී, ඒවා අමාත්‍යාංශ යටතේ සිදුකරන බැවින් ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ටද කොන්ත්‍රාත්කරුවන් තේරීමේදී යම් බලයක් පැවැතිය යුතු බවත් කියා සිටියේය.
ලේකම්වරයාටත් තදවෙයි!
ජොනීගේ මේ කතාවෙන් චීන වාණිජ ලේකම්වරයාගේ ස්වරය තරමක් වෙනස් වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම ජොනීට පිළිතුරු දෙමින් චීන වාණිජ ලේකම්වරයා කියා සිටියේ ඊට එකඟ විය නොහැකි බවත්, කොන්ත්‍රාත්තුවක් භාරදීමෙන් පසු ඊට ඇඟිලිගැසිය නොහැකි බවත්ය. ලංකාවේ පමණක් නොව තමන් ලෝකයේ විවිධ රටවල මෙවැනි ව්‍යාපෘති සිදුකරන බව කී චීන වාණිජ ලේකම්වරයා එම රටවල එවැන්නක් සිදු නොවන බවද කියා සිටියේය. ඒ අනුව තමන් ඍජුවම අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද මෙහිදී චීන වාණිජ ලේකම්වරයා කියා සිටියේය.
ජොනීත් බෑම කියයි!
චීන වාණිජ ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයෙන් ජොනීද කෝපයට පත්වූ ආකාරයක් දැකගන්නට හැකි විය. ජොනී දිගින් දිගටම කියා සිටියේ එසේ කළ නොහැකි බවත්, අමාත්‍යවරුන් සහ අධිකාරියට එහි යම් බලයක් පැවැතිය යුතු බවත්ය.
මෙහිදී චීන වාණිජ ලේකම්වරයා, ඒ අයුරින් විවිධ ඇඟිලිගැසීම් කිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු රාශියක් ජොනීට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එසේ ගැටලු ලැයිස්තුවක් ඉදිරිපත් කළ චීන වාණිජ ලේකම්වරයා, අදම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවද ජොනීට පෙන්වා දුන්නේය. නමුත් ජොනී ඊට කිසිදු එකඟතාවක් නොදක්වමින් අදහස් දැක්වූ අතර, අමාත්‍යාංශ නිලධාරීන්ද ජොනීගේ සහායට පැමිණෙමින් අදහස් දක්වනු දැකගත හැකි විය.
අන්තිමට දාපු සත්තම!
කෙසේ වෙතත් මෙහිදී ජොනී සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය නොහැකි බව වටහා ගත් චීන වාණිජ ලේකම්වරයා අවසානයේදී තරමක ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රකාශයක් සිදුකළ ආකාරයක් දැකගත හැකි විය.
‘ඔබතුමා තේරුම් ගන්න මොන ප්‍රශ්න තිබ්බත් අපි ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. ඔබතුමාලා ඒකට ගරු කරන්න ඕනෙ. හැබැයි මේවට හිතාමතා බාධා කරනවා නම්, අපේ රටෙන් දීලා තියෙන කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රශ්න ඇතිකරනවා නම් ඒ හරහා චීනය හා ලංකාව අතර තියෙන සුහදතාවට ගැටලුවක් වෙන්නත් පුළුවන්…’ යනුවෙන් කියමින් චීන වාණිජ ලේකම්වරයා එම සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් චීන වාණිජ ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයත්, හැසිරීමත් හරහා මේ වන විට ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ගණනාවක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. වාණිජ ලේකම්වරයාගේ ප්‍රකාශයට එරෙහිව ජොනී යම් සටනක් දුන්නත් චීනය සතුව ඇති බලයත් සමගත්, ආණ්ඩුව මේ වන විට පත්ව ඇති අර්බුදකාරී වාතාවරණය සමගත් එය කෙතරම් දුරට වලංගු වේදැයි දැන්ම තියා තක්සේරු කළ නොහැක. නමුත් මෙම අර්බුදයත් සමග ඉදිරියේදී ගැටලු ගණනාවක් මතුවනු ඇති බව නම් හොඳ හැටි පැහැදිලිය.
මන්ත්‍රී කණ්ඩායමේදී මහින්ද විමල්ට විතරක් එන්න කියයි! ගම්මන්පිලව හලයි!
දෙවැනි පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපතිවරයා ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මුලසුන අගමැතිවරයාත්, සභානායකවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාත් හෙබවූවද මෙදින යම් විශේෂයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානීන්ගේ මේසයට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ද කැඳවීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විමල්ට ප්‍රධාන මේසයට මහින්ද ආරාධනා කළද, තවත් පක්ෂ නායකයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිලට ආරාධනා නොකිරීමට මහින්ද පියවර ගැනීමය. වාසු එදින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී සිටියේ නැත.
සබ්රිට වෙච්ච දේ ජී එල් එපා කියද්දීත් බැසිල්ගේ කටින් පනී!
මීට අමතරව සිකුරාදා දිනයේදී අධිකරණය සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් මුලින්ම අදහස් දැක්වූ අනුර යාපා නීතීඥවරුන්ට අදහස් දැක්වීමට වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේවෙතත් මෙහිදී සියලු දෙනාම බලන්නට වූයේ අධිකරණ ඇමැති අලි සබි්ර මහතා කොහිදැයි කියාය. ඒ බව වැටහී ගිය නිසාදෝ බැසිල් ගත් කටටම කියා සිටියේ අලි සබි්‍රට කොරෝනා වැලඳී ඇතැයි කියාය. බැසිල් මෙය කියනවාත් සමගම ඔහු දෙස බැලූ ජී.එල්. කිසිවක් නොකියන ලෙසට අතින් සහ හිසින් සංඥා කළද ඒ වන විටත් බැසිල් කට ඉස්සර කරමින් අලි සබි්ර විදෙස් රටක නිරෝධායනය වෙමින් සිටින බවද සඳහන් කර සිටියේය.
ගම්මන්පිලට වට කර ගහන්න සෙට්වෙයි! මහින්ද යාන්තමින් බේරගනී!
රැස්වීම ආරම්භ කර ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ විවාදය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමෙන් පසු ගම්මන්පිල තමන් විසින් ඉන්දියාව සමග අස්සන් කළ තෙල් ටැංකි ගිවිසුම පිළිබඳ දීර්ඝ විස්තරයක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ තැබුවේය. පැයකට ආසන්න කාලයක් මෙසේ ගිවිසුමේ කරුණු ඉදිරිපත් කර අවසන් වනවාත් සමගම කලින් ඇතිකරගෙන තිබූ එකඟතාවකට අනුව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ගම්මන්පිලගෙන් ඒ පිළිබඳ දීර්ඝව ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. ඔවුන් එහිදී තීන්දු කර තිබුණේ ගම්මන්පිල යුගදනවි ගිවිසුමට විරුද්ධව කැබිනට් මණ්ඩලයට එරෙහිව උසවියට ගොස් තිබූ නිසා එම යුගදනවි ගිවිසුමත්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දෙමින් අස්සන් කළ ගිවිසුමත් අතර වෙනස කුමක්ද කියා ප්‍රශ්න කිරීමටය. නමුත් ප්‍රශ්න දෙක තුනක් අසද්දී එන පොට හොඳ නැති බව මහින්දට ඉවෙන් මෙන වැටහිණි. ඒ අනුව මහින්ද වහාම කළේ, ‘ආ දැන් ගොඩක් වෙලා ගියානේ. ඒක හින්දා ඕගොල්ලෝ ඇමැතිතුමාගෙන් පස්සේ වෙලාවක ප්‍රශ්න කරන්න. දැනට අපි කණ්ඩායම් රැස්වීම අවසන් කරමු’ යැයි කියමින් රැස්වීම අවසන් කිරීමට පියවර ගැනීමය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගම්මන්පිලට අන්නවන්නට ප්‍රශ්න අසද්දී විමල් ප්‍රධාන මේසයේ සිට කිසිවක් සිදු නොවන පරිද්දෙන් සිය ජංගම දුරකතනයට මුහුණ ඔබාගෙන එහි බොත්තම් ඔබමින් සිටිනු දැකගන්නට ලැබීමය.
මෛත්‍රී වර්ජනය කළාද?
මෙහිදී තවත් සිදුවීමක්ද දැකගන්නට ලැබිණි. ඒ, පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුව දැඩිව විවේචනයට ලක් කළ ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවීමය. ඒ වන විට මෛත්‍රි පාර්ලිමේන්තු සභා ගැබේ රැඳී සිටියද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවීම විශේෂ සිදුවීමක් විය.
අගමැති ආරක්ෂකයෙක් මාධ්‍යවේදීන්ට සද්දයක් දමයි!
ඒ ආකාරයට අගමැතිගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී අගමැතිවරයාත් නොදැන රැස්වීම් ශාලාවේ දොරටුව ආසන්නයේ බරපතළ සිදුවීමක් සිදුවෙමින් පැවැතිණි. ඒ, අගමැති ආරක්ෂක ඒකකයේ නිලධාරියකු පැමිණ දොරටුව අසල සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමය. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වෙද්දී මාධ්‍යවේදීන් දොරටුව අසල රැකගෙන සිටීම සාමාන්‍ය දෙයක් වන අතර ඔවුන් එලෙස සිටින්නේ රැස්වීම නිමවා පැමිණෙන මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු ලබාගැනීම සඳහාය. ඒ අනුව එම මාධ්‍යවේදීන් ඒ බව අගමැති ආරක්ෂක අංශ නිලධාරියාට දැනුම් දුන්නද ඔහු ඒ කිසිවක් කනකට නොගෙන තමන්ට ඒවා අදාළ නැති බවත්, තමන් කරන්නේ රාජකාරියක් බවත් කියමින් මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
නරේන්ද්රවත් ගණන් අරන් නෑ!
නමුත් මෙහිදී එක් මාධ්‍යවේදියෙක් වහාම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබඳ පැමිණිලි කිරීමට පියවර ගතතේය. නරේන්ද්‍රද ගත් කටටම කියා සිටියේ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට තබා කිසිවකුටත් එසේ කළ නොහැකි බවත්, දුරකතනය එම නිලධාරියාට ලබාදෙන ලෙසත්ය. ඒ අනුව මාධ්‍යවේදියා නරේන්ද්‍ර දුරකතනයේ සිටියදීම එම දුරකතනය අගමැති ආරක්ෂක ඒකකයේ නිලධාරියාට ලබාදීමට උත්සාහ කළද ඔහු එය ගැනීම ප්‍රතික්ෂේප කළේය. එසේ ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ තමන් කාගෙන්වත් එන දුරකතන ඇමතුම් ලබා නොගන්නා බවත්, තමාට ඒවා අදාළ නැති බවත්ය.
නරේන්ද්රත් පාඩමක් උගන්වයි!
එම නිලධාරියාගේ අදාළ වචන කිහිපය ඒ වන විටත් දුරකතනයේ රැඳී සිටි නරේන්ද්‍රට හොඳ හැටි ඇසිණි. ඔහුගේ එම පිළිතුරෙන් යක්ෂාරූඪ වූ නරේන්ද්‍ර කළේ වහාම සිය කාමරයේ සිට එම ස්ථානයට පැමිණිමය. එසේ පැමිණි නරේන්ද්‍ර අදාළ නිලධාරියාට දැඩිව කියා සිටියේ අගමැති ආරක්ෂක අංශයේ නොව, ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියකුටවත් පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත නොහැකි බවත්, එහි වගකීම සම්පූර්ණයෙන්ම දරන්නේ තමන් විසින් බවත්ය. එම නිසා මාධ්‍යවේදීන් එම ස්ථානයේ සිටීම ගැටලුවක් නොවන බව අගමැති ආරක්ෂක ඒකකයේ නිලධාරියාට අවධාරණය කළ නරේන්ද්‍ර ඔහුට එම කටයුතුවලට ඇඟිලි ගැසීමට නොහැකි බවද සඳහන් කර සිටියේය.
පසුව මෙම සිදුවීම අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියාටද වාර්තා වී තිබිණි. ඒ අනුව වහාම එහි ප්‍රධානියකු පැමිණ නරේන්ද්‍රට සහ අදාළ මාධ්‍යවේදීන්ට කනගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
රන්ජන්ව බලන්න හිරගෙදරට යන ජනපතිට හිතවත් කෝටිපතියා!
රන්ජන් සිරගත කොට මේ වන විට අවුරුද්දක් ගෙවී අවසානය. මේ අවුරුද්ද පුරාම රන්ජන්ව නිදහස් කරගැනීම සඳහා සමගි ජන බලවේගය විශාල වැඩකොටසක් කළද ජනාධිපතිවරයාගෙන් ඊට අනුකූලතාවක් ලැබී තිබුණේ නැත. ඒ අනුව පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් සම්බන්ධයෙන් තවත් තීන්දු දෙකක් ගැනීමට කටයුතු කළේය. ඉන් එකක් වූයේ ජනාධිපතිවරයාට යළිත් වතාවක් කතා කොට ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් කිරීමටය. අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපතිවරයාට කතා කළ සජිත් ඒ පිළිබඳ යළිත් වතාවක් දැනුවත් කිරීමට කටයුතු කළේය. දෙවැනි තීන්දුව වූයේ රන්ජන් නිදහස් කිරීමේ සටනක් දියත් කිරීම සඳහා හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ එස්.එම්. මරික්කාරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමය.
මේ ආකාරයට සමගි ජන බලවේගය රන්ජන්ව නිදහස් කරගැනීමට යම් මෙහෙයුමක් දියත් කර තිබියදී ජනාධිපතිවරයාට හිතවත් යම් ප්‍රබල ව්‍යාපාරිකයකුද රන්ජන් සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නිතර දෙවේලේ වැලිකඩ සිරගෙදරට යෑමට පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එසේ කිහිප වතාවක්ම රන්ජන්ව බැලීමට ගොස් ඇති මෙම ප්‍රබල ව්‍යාපාරිකයා මැදිහත්ව රන්ජන්ට ව්‍යායාම කිරීම සඳහා අවශ්‍ය පහසුකම්ද, ඔහුගේ ආහාර සහ ඖෂධ පිළිබඳ ඇති ප්‍රශ්නද විසඳා ඇති බවක්ද ආරංචිය. එමෙන්ම රන්ජන්ගේ නිදහස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කතා කරන බවටද එම ව්‍යාපාරිකයා රන්ජන්ට පොරොන්දුවක් ලබාදී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.