හෝමාගම රෝහලත් කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි January 25, 2022 04:33 pm

හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති වාට්ටු දෙකම මේ වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වෛද්‍යාධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ, ගෙවුණු දින කිහිපය තුළ රෝහල් ගත වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය සීඝ්‍රව වැඩිවීමක් දැකිය හැකි බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රෝගීන් සඳහා ඇඳන් 75ක් වෙන්කර තිබුණ ද මේ වනවිට එහි රෝගීන් 81 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, රෝහල් කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා,

“හෝමාගම මුලික රෝහලට පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් රෝගීන් ඇතුළත් වීමේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ වනවිට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති සියලුම ඇඳන් රෝගීන්ගෙන් පිරී අවසානයි. නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළක්වීම සඳහා සියලුදෙනාම හැකි ඉක්මනින් බුස්ටර් මාත්‍රාව ලබාගැනීම ඉතා වැදගත්. “

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, රෝගීන් වැඩිවීම අභියෝගාත්මක තත්ත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බවය.

“ඔමික්‍රෝන් බරපතළ නොවුණත් ඒක හරහා රෝග ලක්ෂණ අඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් බිහිවීමෙන් පරිසරයේ රෝගය පතුරවන පුද්ගලයින් වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. රෝගය පතුරවන පුද්ගලයින් ගණන වැඩිවීමෙන් ප්‍රතිශක්තිය හීන පුද්ගලයින් ට සංකූලතා ඇති විය හැකි අතර මියයෑමට පුළුවන්. අද වනවිට රෝගීන්ගෙන් 50% ඉක්මවලා, ඔමික්‍රෝන් රෝගීන් වෙන්න පුළුවන්.” 

ඉහළ සම්ප්‍රේශන හැකියාවකින් යුත් ඔමික්‍රොන් ප්‍රභේදය, කොවිඩ් වෛරසයේ අවසන් ප්‍රභේදයට බවට උපකල්පනය කිරීම මෙන්ම ගෝලීය කොවිඩ් වසංගතය අවසානයට ළඟා වී ඇතැයි සිතීමත් අනතුරුදායක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස් පවසයි.

කෙසේ නමුත් කොවිඩ් පරීක්ෂණ නිසි පරිදි සිදුකිරීම, පුළුල් එන්නත්කරණය වැනි උපායමාර්ග අනුගමනය කිරීමෙන් ගෝලීය හදිසි තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබූ උග්‍ර වසංගත තත්ත්වය මේ වසරේදී අවසන් කරගත හැකි බව ඔහු පෙන්වාදෙයි.

ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනාගත් දිනයේ සිට සති 9ක පමණ කාලයක් තුළ ලොව පුරා රටවලින් නව ආසාදිතයන් මිලියන 80ක් හඳුනාගෙන ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

එය 2020 වසරේ හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව ඉක්මවා ගිය අගයකි.