අලුත් නිදහස් සටනක් : සජිත් නිදහස වෙනම සමරයි!
රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හෘද සාක්ෂියට එකඟව අපි ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත් එදා දිනාගත්තු නිදහස පූර්ණ වශයෙන් භුක්ති විදින්නට හැකියාව ලැබී තිබෙනවා දැයි යන්න අප විමසා බැලිය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
අද (04) පෙරවරුවේ කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත ත්‍රිපිටකාචාර්ය මකුලෑවේ ශ්‍රී විමලාභිනන්දන නාහිමිපාණන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතිව සංවිධානය කොට තිබූ 74 වන නිදහස් දින සමරුවට එක් විය.
යටත් විජිතයක්ව තිබූ දේශයට නිදහස ලබා ගැනීම උදෙසා කැපවූ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිදුන් ප්රමුඛ ජාතික විරුවන් සිහි කරමින් විපක්ෂ නායකතුමා ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් උත්තමාචාරය සහ උපහාරය පුද කරන ලදි.
අපිට අහිමි වී ඇති සහ අහිමි කොට ඇති නිදහස දිනාගැනීම උදෙසා අපි නැවත නැවතත් අරගල කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා,පොදුවේ රට මුහුණ මුහුණදී ඇති ගැටළු පිළිබඳව පටු ආකල්ප වලින් තොරව කල්පනා කළ යුතු බවද පැවසීය.