රාජ්‍ය රහස් ….. ‘පැනික්’ වෙයි – මහින්ද කේන්තියෙන් – චැලෙන්ජ්

 

හදිසියේ ලැබුණු රහස් කෙටුම්පතකින් ආණ්ඩුව ‘පැනික්’ වෙයි! දයාසිරිගෙන් අතිභයානක හෙළිදරව්වක්! ‌සල්ගාදු වේදිකාවේදී අත උස්සන්න ගිය රෝහිතට මහින්ද කේන්තියෙන් කියපු කතාව! පොහොට්ටුවේ අභියෝගය සජබ බාරගනී! ගම්මන්පිල ජනපතිට චැලෙන්ජ් කරයි!! (රාජ්‍ය රහස්)

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුරෝපා සංගමයේ බරපතළ යෝජනා ආණ්ඩුව පිළිගත්තාද?

වොෂින්ටන්වලින් ආණ්ඩුවට ආ පණිවුඩය!

සරත් වීරසේකරට වාසු බකට් එකක් පෙරළයි!

මහින්දානන්ද සල්ගාදු පිටියට ආවේ නැත්තේ ඇයි!

කාටත් හොරෙන් වැඩි සද්දයක් බද්දයක් නැතිවම තවත් ලෝක ලෙඩක් ආණ්ඩුව පැත්තට කඩාවැටෙන්නට ඔන්න මෙන්න ඇති ආකාරයක් මේ දිනවල දේශපාලන ලෝකයේ තිරය පිටුපස සිදුවන සිදුවීම්වලින් දැකගන්නට තිබේ. ඒ, වෙන මොකක්වත් නොව ජිනීවා දේශපාලන බෝම්බයය. සෑම වසරකම පෙබරවාරි මාර්තු වන විට මෙම දේශපාලන බෝම්බය පත්තුවෙන්න ඔන්න මෙන්න කියා තිබුණත් එය සෑම අවස්ථාවකදීම කුමන හෝ ක්‍රමයක් මාර්ගයෙන් තාවකාලිකව නිශ්ක්‍රීය කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබිණි. නමුත් මෙවර පත්තුවෙමින් ඇති ජිනීවා බෝම්බය එසේ නිශ්ක්‍රීය කරගත හැකිදැයි සැක මතුවන තරමටම බරපතළ ලෙස දැල්වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත.

ලබන 28 වැනිදා පත්තුවෙන්න යන ජිනීවා බෝම්බයට ආණ්ඩුව ‘පැනික්’ වෙයි!

මෙවර ජිනීවා බෝම්බය බරපතළ වනු ඇති බවට වූ ඉඟිය පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුවටත්, විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දැනෙන්නට පටන් අරගෙන තිබිණි. ඒ නිසාම ජනාධිපතිවරයා පසුගිය සති කිහිපය පුරා වැඩි සද්දයක් බද්දයක් නැතිව අතිශය වැදගත් තීන්දු තීරණ කිහිපයක්ම මේ සම්බන්ධයෙන් ගැනීමට පියවර ගත්තේය. ඉන් එක් ක්‍රියාමාර්ගයක් වූයේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අතිශය සංවේදී ස්ථානවලට යමක් කමක් දන්නා, ලෝකය පිළිගන්නා දක්ෂ පිරිසක් පත්කර යැවීමට පියවර ගැනීමය. ඒ හරහා ජනාධිපතිවරයා බලාපොරොත්තු වූයේ කෙසේ හෝ ලබන පෙබරවාරි 28 වැනි දින ආරම්භ වී මාර්තු 02 වැනිදා දක්වා පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභා රැස්වීම ලංකාවට වාසිසහගත ලෙස හරවාගැනීමටය. නමුත් එය සාර්ථකද, අසාර්ථකද යන ප්‍රශ්නය එක් පැත්තකින් පැවැතියදී පසුගිය සතිය වන විට මෙම සැසිය බරපතළ වනු ඇති බවට හැඟවෙන ඉඟි කිහිපයක්ම ජාත්‍යන්තරයෙන් පළවන ආකාරයක් දැකගත හැකි විය. ආණ්ඩුව කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවුණු මෙම ඉඟි කිහිපය නිසා ඇත්තම කියනවා නම් පසුගිය සති කිහිපය ආණ්ඩුවත්, ආණ්ඩුවේ ප්‍රධානීනුත් ගෙවා දැමූයේ ජනාධිපතිවරයාගේම භාෂාවෙන් කියනවා නම්, ‘පැනික්’ වූ තත්ත්වයක් යටතේය. කෙසේවෙතත් පසුගිය සතිය වන විට ආණ්ඩුවේ නායකයන්ගේ මෙම ‘පැනික්’ තත්ත්වයට බලපෑ හේතුව කුමක්ද යන්න සොයාගැනීමට ‘රාජ්‍ය රහස්’ තීරයටද හැකි විය.

රහස් කෙටුම්පතක් ආණ්ඩුවේ අතට!

ඊට ප්‍රධාන වශයෙන්ම බලපා තිබුණේ මෙවර ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වනු ඇතැයි සැක කෙරෙන යෝජනාවක් ඇතුළත් කෙටුම්පතක පිටපතක් ආණ්ඩුවේ ප්‍රධානීන් අතට පත්ව තිබීමය. එම කෙටුම්පතෙහි සඳහන් කරුණු කුමක්ද යන්න පිළිබඳ අපද හරිහැටි දැනුවත්ව නැතත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මෙම කෙටුම්පතේ ඇතුළත් කරුණු බොහෝ දුරට යෝජනාවක් වශයෙන් මෙවර ලංකාවට එරෙහිව ජිනීවා කොමිසමට ඉදිරිපත් වනු ඇති බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් කිසියම් කැලඹීමකට පත්ව ඇති බවත්ය. විශේෂයෙන්ම යුද සමයේ සිදුවූවා යැයි කියන සිදුවීම්වලට වගවීම සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න සහ ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තොරතුරු ඇතුළත් ප්‍රබල යෝජනාවක් මෙවර ජිනීවා කොමිසමට ඉදිරිපත් වීමේ ඉඟි මේ හරහා පහළකොට ඇති බවද එම නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ.

ආණ්ඩුව මෙවර සටනට නොයන්න තීන්දු කරයි! ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරයි!

ඒ හරහා මේ වන විට ආණ්ඩුවට ගැනීමට ඉතිරිව ඇත්තේ ක්‍රියාමාර්ග දෙකක් පමණි. ඉන් පළමු ක්‍රියාමාර්ගය වී ඇත්තේ ඉදිරිපත් වන එම යෝජනාවට එකඟතාව පළකොට එහි ඇති කරුණු ක්‍රියාත්මක කරන බවට ජිනීවා කොමිසමට දැනුම්දී සිටීමය. එනම්, ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයකට යොමුවීමය. දෙවැන්න අදාළ යෝජනාවට එරෙහිව ඡන්දයක් ඉල්ලා එම යෝජනාව කොමිසම තුළ පරාජයට පත්කිරීම සඳහා සටන් වැදීමය. නැතහොත් සටන්කාමී ක්‍රියාමාර්ගයකට යොමුවිමය. නමුත් දැනට මතුවී ඇති ගැටලුව වී ඇත්තේ ලංකාව මුහුණදී ඇති ආර්ථික සහ ජාත්‍යන්තර අර්බුද හේතුකොට ගෙන එසේ සටන්කාමී ක්‍රියාමාර්ගයකට යොමුවී ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ආණ්ඩුට තිබේද යන්නය. එවැනි ස්ථාවරයකට තල්ලු වුවහොත් නියත වශයෙන්ම පරාජයට පත්වී රට තවත් දරුණු තැනකට වැටීම නොවැළක්විය හැකි බව බොහෝ දෙනාගේ මතය වී ඇත. එමෙන්ම පවතින ආර්ථික අර්බුදය හමුවේ තවත් බරපතළ ප්‍රතිවිපාකවලට මේ හරහා ආණ්ඩුවට මුහුණ දිමට සිදුවනු ඇති බවද ඔවුන්ගේ මතය වී ඇත.

සටන්කාමී නොවන බවට වූ ඉගි!

අනෙක් අතට එසේ ඡන්දයකට යනවා නම් මේ වන විටත් ආණ්ඩුව සාමාජික රටවල නායකයන්ට, තානාපතිවරුන්ට, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට කතාකොට ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සකසාගත යුතු වුවත් එවැනි සිදුවීම් පෙළක් අපට ආණ්ඩුව පැත්තෙන් දැකගන්නට ලැබෙන්නේද නැත. ඒ හරහා පෙනීයන්නේ මෙවර ලංකාවට එරෙහිව ජිනීවා යෝජනා පැමිණියහොත් ආණ්ඩුව සටන්කාමී තත්ත්වයකට නොගොස් ආරක්ෂාකාරී තත්ත්වයකට යෑමට සැලසුම් කර ඇති බවකි.

ජී.එල්.ගේ ඉන්දීය ගමනේ ඇත්ත කතාව!

එමෙන්ම විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ හදිසි ඉන්දීය සංචාරයද මෙම ආරක්ෂාකාරී පිළිවෙතේ එක් කොටසක් ලෙස දැකගැනීමට පුළුවන. බොහෝ දෙනා මෙම ජී.එල්.ගේ ඉන්දීය සංචාරය මුදල් සොයා යන ගමනක් ලෙස අර්ථ දක්වා තිබුණත් සැබැවින්ම එය පසුපස තිබුණේ මුදල් සොයාගැනීම නොව, ජිනීවාවලදී ඉන්දීය ස්ථාවරය ලංකාවට හිතකර තැනකට රැගෙන ඒමය. මන්ද යත් ජනාධිපතිවරයා මුල සිටම සිටි ස්ථාවරය වූයේ කෙසේ හෝ ජිනීවා ප්‍රශ්නයේදී ඉන්දීය පාර්ශ්වය බැලන්ස් කරගත හොත් ලංකාවට ගැටලුවක් නොවනු ඇති බවකි. ජී.එල්. හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගියේ එම බලාපොරොත්තුව මුදුන්පමුණුවා ගැනීම සඳහාය. ඉන්දියාව හරහා මෙවර ජිනීවා කොමිසමේදී ලංකාවට එල්ල විය හැකි බලපෑම කෙසේ හෝ මීළඟ සැසිවාරය දක්වා කල්දමා ගැනීම ජී.එල්.ගේ ඉන්දීය ගමනේ තවත් එක් අරමුණක් විය.

ඉන්දියාව හරියට උත්තරයක් දීලා නෑ!

එහිදී ජී.එල්. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව මුණගැසීමට උත්සාහ කළත් එය සාර්ථක වූ බවක් දැකගන්නට නොලැබිණි. නමුත් සිය සංචාරයේදී ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සමග තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පැවැත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම සාකච්ඡාවලදීද ජී.එල්. සාකච්ඡා කොට තිබුණේ ආණ්ඩුවට ලැබී තිබුණු රහස් කෙටුම්පතේ ඇතුළත්ව පැවැති කරුණුය. නමුත් ඉන්දියාවද එම සාකච්ඡාවලදී ජී.එල්.ට කෙළින් උත්තරයක් ලබාදී ඇති බවක් දැනගන්නට නැත.

ලෝකෙ වටේ යන්නත් සූදානම්! බ්ලින්කන්ගෙනුත් වෙලාව ඉල්ලයි!

ඒ අනුව ජී.එල්. මේ වන විට තීන්දු කර ඇත්තේ ජිනීවා සැසිවාරය ආරම්භ කිරීමට ප්‍රථම එංගලන්තය ඇතුළු යුරෝපා රටවල සංචාරය කොට ජිනීවා බෝම්බය කෙසේ හෝ නිශ්ක්‍රීය කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාගැනීමටය. දැනටමත් ඒ සඳහා ජී.එල්. එම රටවල නායකයන්ගෙන් කාල වේලාව ඉල්ලා ඇති අතර ඇතැම් රටවල් ඊට දැනටමත් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවක් දැනගන්නට ඇත. නමුත් ඇතැම් රටවල් තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැති බවක්ද වාර්තා වේ. එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතා හමුවීමටද ජී.එල්. මේ වන විට කාලවේලාවක් ඉල්ලා ඇති නමුත් ඒ සඳහාද තවමත් ඇමෙරිකානු පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ඇති බවක් දැනගන්නට නැත. එසේ යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් ජී.එල්. ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇත්තේ ආරක්ෂාකාරී පිළිවෙතකට යෑමට මිස සටන්කාමී ක්‍රියාමාර්ගයක් ගැනීමට නම් නොවනු ඇත.

යුරෝපා හමුවේදී ආණ්ඩුවට ටොක්කක්!

මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව මෙවර ජිනීවාහිදී පසුබැසීමට තීරණය කොට ඇති බව තහවුරු වූ තවත් සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඒ, බෙල්ජියමේ අගනගරය වූ බ්‍රසල්ස්හිදීය. පසුගිය 08 වැනිදා බ්‍රසල්ස් නුවර යුරෝපා කොමිසම සහ ශ්‍රී ලංකාව අතර 24 වැනි සැසිවාරය පැවැති අතර ඊට යුරෝපා කොමිසම පාර්ශ්වයෙන් එහි සම සභාපති පවෝලා පැම්පලෝනිද, ලංකාව පාර්ශ්වයෙන් විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේද සහභාගි වී සිටියහ. වෙනත් නිලධාරියකු එම සැසිවාරයට යැවිය හැකිව තිබුණත් ජයනාත්ම මෙම සැසිවාරය සඳහා සහභාගි වීමට බ්‍රසල්ස් බලා පිටත්ව ගියේ ඒ හරහා ජිනීවා කොමිසමේදී ලංකාවට වාසිසහගත තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහාය. මෙම සමුළුව දෙරට අතර ආර්ථික, සාමාජික, සංස්කෘතික, වෙළෙඳ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යොදාගෙන තිබුණත් එහිදී ඊට වඩා බරපතළ කරුණු රැසක්ම සාකච්ඡා වූ බවක් එළියට ආවේ දෙපාර්ශ්වයේම එකඟතාව අනුව නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනය හරහාය. එම ඒකාබද්ධ නිවේදනයේ මුල් පරිච්ඡේදයේ ලංකාව කොරෝනා පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයන් ප්‍රශංසාවට ලක්කිරීමට පියවර ගෙන ඇති බවක් දැකගන්නට ලැබිණි. නමුත් ඊට පසු සඳහන්ව තිබූ පරිච්ඡේදයන් බොහොමයක සඳහන් වූයේ ජිනීවා කොමිසමේදී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්ය. විශේෂයෙන්ම එහි සඳහන්ව තිබුණු බරපතළම කාරණාව වූයේ ජිනිවා කොමිසම සමග ලංකාව සමීපව කටයුතු කළ යුතු බවත්, එහි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කළ යුතු බවත්ය. එමෙන්ම මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වූ අතර ආණ්ඩුව වහාම ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති වහාම සංශෝධනය කළ යුතු බවත් එහි සඳහන්ව ඇත.

යුරෝපා කොන්දේසි ආණ්ඩුව පිළිගත්තාද?

මෙම ඒකාබද්ධ නිවේදනයට කොළඹගේ ද අස්සන් කොට තිබීම හේතුකොට ගෙන එම චෝදනා එක් අතකින් පිළිගත් බවක් මෙහිදී දැකගන්නට ඇති බරපතළම සංඥාවය. එය කොළඹගේ තනිවම සිදුකළාද, එසේත් නැත්නම් ආණ්ඩුව දැනුවත්ව සිදුකළාද යන්න මෙතෙක් පැහැදිලි නැතත් මේ හරහාද පෙනී යන්නේ ආණ්ඩුව මෙවර ජිනීවා කොමිසමේදී කිසියම් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීමේ සූදානමින් පසුවනවාය යන්නය. නමුත් එහි ගැටලුව ඇත්තේ එසේ ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම හරහා ජිනීවා ප්‍රශ්නය තල්ලු වන තැන කොතැනද යන්න හරි හැටි අවබෝධයක් කිසිවකුටත් නොතිබීමය.

අමෙරිකාවෙන් එන්න යන නිවේදනය!

කෙසේ වෙතත් මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමට පළමු වරට ඇමෙරිකාවද සහභාගි වීමට නියමිතය. ඉකුත් ට්‍රම්ප් පාලනයේදී ඇමෙරිකාව ජිනීවා කොමිසමෙන් ඉවත් වුවද, වත්මන් බයිඩන් පාලනය කළ පළමු කටයුත්ත වූයේ නැවත වතාවක් එහි සාමාජිකත්වය ගැනීමට කටයුතු කිරීමය. ඒ අනුව බි්‍රතාන්‍යය විසින් මෙවර ජිනීවා කොමිසමේදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විශ්වාස කරන අතර එහිදී ඇමෙරිකාව කුමන ස්ථාවරයක් ගනු ඇද්ද යන්න පිළිබඳ තවමත් ඇත්තේ දෙගිඩියාවකි. මන්ද ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකර නොමැති වීම ඊට හේතුවය. එසේ වුවත් ඉදිරි දින කිහිපය ඇතුළත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාව සම්බන්ධයෙන් කිසියම් නිවේදනයක් නිකුත් වීමට නියමිතව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරය මීට පෙරද වාර්තා කිරීමට පියවර ගත්තේය. ඊට හේතුව වූයේ මීට මාස දෙකකට ඉහතදී දෙමළ සන්ධාන නායකයන් වූ එම්.ඒ. සුමන්තිරනුත්, ශානක්‍ය රාසමානික්මුත් සිදුකළ ඇමෙරිකානු සංචාරයේදී එවැනි නිවේදනයක් නිකුත් කරන බවට ඇමෙරිකානු බලධාරීන් විසින් සුමන්තිරන්ලා හට සහතිකයක් ලබාදී තිබීමය. ඒ පිළිබඳ පසුගිය සති කිහිපය පුරාම දෙමළ ජාතික සන්ධානය ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග කිසියම් ගනුදෙනුවකද නිරතව සිටියේය. ඒ අනුව සුමන්තිරන්ලා මේ වන විට බලාපොරොත්තුවෙන් සිටින්නේ ජිනීවා කොමිසම ආරම්භ වීමට දින කිහිපයක් තබා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙම නිවේදනය නිකුත් වන තෙක්ය.

වොෂින්ටන්වලින් ආණ්ඩුවට ආ පණිවුඩය!

නමුත් වොෂින්ටන්වලින් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති පණිවුඩවලින් කියැවෙන්නේ මේ වන විට ඇමෙරිකාව යම්තාක් දුරකට ලංකාව සම්බන්ධයෙන් සමබර ස්ථාවරයකට පැමිණ ඇති බවත්, දැඩි ක්‍රියාමාර්ගයකට ඔවුන් යොමු නොවනු ඇති බවත්ය. ඒ අනුව ඉදිරියේදී අපට බලාසිටීමට සිදුව ඇත්තේ වොෂින්ටනයෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති පණිවුඩයට අනුව ඇමෙරිකාව බැලන්ස් වී ඇතිද, එසේත් නැත්නම් සුමන්තිරන්ලා බලාපොරොත්තුවෙන් සිටින ආකාරයට ඇමෙරිකාව ලංකාව සම්බන්ධයෙන් දැඩි නිවේදනයක් නිකුත් කරනු ඇතිද යන්න පිළිබඳවය.

ආණ්ඩුව පස්සට යද්දී ඩයස්පෝරාව ශිල්ප දක්වන්න පටන් අරන්!

මේ ආකාරයට මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාව ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට ඉඟි පළවීමත් සමග තවත් ප්‍රබල කණ්ඩායමක් ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ගෙන යන සටන තීව්‍ර කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඒ, වෙන කවුරුවත් නොව දෙමළ ඩයස්පෝරාවය. ඒ අනුව මේ දිනවල දෙමළ ඩයස්පෝරාව ජිනීවා කොමිසමේ සාමාජික රටවල නියෝජිතයන්, තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් හමුවී ලංකාවට එරෙහිව සිය මෙහෙයුම් දැඩි කර ඇති ආකාරයක් දැකගන්නට ඇත. නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ එම මෙහෙයුමට ඇතැම් රටවල නියෝජිතයන්ගෙන් යහපත් ප්‍රතිචාරයන්ද ලැබී ඇති බවකි. ඒ අනුව මෙවර ජිනීවා කොමිසම දෙස සියලු දෙනාටම බලාසිටීමට සිදුව ඇත්තේ තවත් එක් සැසිවාරයකට වඩා ලෝක කුසලාන අවසන් මහා තරගයක් නරඹනවා වැනි අවිනිශ්චිත තත්ත්වයක සිටය.

ආණ්ඩුව එළිපිට අඩිය පස්සට ගත් හැටි!

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතිය වන විට ආණ්ඩුව පැත්තෙන්ද ජාත්‍යන්තරය වෙත තවත් වැදගත් පණිවුඩ කිහිපයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. එම පණිවුඩවලින් ආණ්ඩුව කියා සිටියේ අපි දැන් වැරැදි නොකරන, හරි මාර්ගයේ ගමන් කරන ආණ්ඩුවක් යැයි කියාය. උදාහරණ ලෙස ආණ්ඩුව පසුගිය සතිය වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන නීති පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගත්තේය. වසර 10කට අධික කාලයක් සිරගතව සිටි කොටි සැකකරුවන් 72ක් නිදහස් කිරීමට පියවර ගත්තේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දොස්තර ෂාෆි නිදහස් කිරීමට පියවර ගත්තේය. අත්අඩංගුවේ සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කළේය.

ඊට අමතරව තවත් ප්‍රබල පණිවුඩයක් බටහිර ඇතුළු යුරෝපා රටවලට ලබාදෙමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවත් ඒ හරහා දෙමළ ජනතාවගේ ප්‍රශ්න සහ මානව හිමිකම් ප්‍රශ්න විසඳන බවත් දැනුම්දී සිටියේය.

ආණ්ඩුවේ කතා බටහිර පිළිනොගනී! දාපු කොන්දේසි මෙන්න!

නමුත් ආණ්ඩුව මෙම පියවර ගැනීමත් සමග බටහිර රටවල් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ආණ්ඩුවේ වචනය පිළිගත නොහැකි බවත්, වචනයට සීමා නොවී ඒවා වහාම ඉටුකළ යුතු බවත්ය. එසේත් නැත්නම් ඔවුන් දැනුම්දී ඇත්තේ ජිනීවා කොමිසම ආරම්භ වන පෙබරවාරි 28 වැනිදාට පෙර එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි කියාය. නිල නොවන ආකාරයට ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව එම යෝජනාවටද එකඟතාව පළකොට ඇති බවකි. ඉතා කෙටි කාලයක් ඇතුළත එම කටයුත්ත සම්පූර්ණ කරගැනීම ගැටලුවක් වුවත් ආණ්ඩුව දැනටමත් එම පණිවුඩය බටහිර රටවලට යවා ඇති බවද ආරංචිය.

දයාසිරිගෙන් භයානක හෙළිදරව්වක්!

කෙසේ වෙතත් මෙවර ජිනීවා කොමිසමේ තීන්දුව කුමක් වුවත් ඉදිරියේදී ලංකාවට මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවක් ආණ්ඩුව පැත්තෙන්ම පසුගිය සතියේ එළියට ආවේය. ඒ, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ විවාදයේදීය. ඊට එක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළමු වරට මේ සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදුකළේය. විනාඩි 14ක් පුරා දයාසිරි කළ කතාවේ මෙම තොරතුරු අඩංගු වූයේ අවසන් මිනිත්තු හතරේදීය. එහිදී දයාසිරි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරමින් උතුරේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා, වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා නිලධාරීන් 39 දෙනකුට මේ වන විට ජාත්‍යන්තරයෙන් සංචාරක සීමා පනවා ඇති බව කියා සිටියේය. මෙය බරපතළ තත්ත්වයක් බවත්, වහාම ආණ්ඩුව මීට මැදිහත් වී ඔවුන් එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ක්‍රියා කළ යුතු බවත්, ඔවුන්ට නීති සහාය ලබාදිය යුතු බවත් දයාසිරි කියා සිටියේය. එසේ නොමැති වුවහොත් මෙම තත්ත්වය තවත් ඉදිරියට ගොස් හමුදා නිලධාරීන්ට පමණක් නොව අනෙකුත් පුරවැසියන්ට පවා බරපතළ තත්ත්වයකට මුහුණපෑමට සිදුවනු ඇති බවද දයාසිරි එහිදී අවධාරණය කර සිටියේය.

දයාසිරි ‘රාජ්‍ය රහස්’ තීරයට කතාකරයි!

දයාසිරිගේ මෙම අනාවරණය කිසිදු මාධ්‍යයක පළ නොවීම හේතුවෙන් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය දයාසිරිට කෙළින්ම කතාකොට මෙම කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමට පියවර ගත්තේය. එහිදී දයාසිරි ‘රාජ්‍ය රහස්’ තීරයටද එම කතාව තහවුරු කිරීමට පියවර ගත්තේය.

‘ඔව් මම ඒක පාර්ලිමේන්තුවේදි මතුකළා. මේ යන විදියට මේක හමුදාවෙන් නවතින්නෙ නෑ. වෙන වෙන ක්ෂේත්‍රවල අයටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් දැනට නීති ක්ෂේත්‍රයේ රාජකාරි කරන කිහිප දෙනකුගේ දරුවන්ටත් මේ ප්‍රශ්නය ඇවිල්ලා. ඒ අයගෙ අධ්‍යාපන කටයුතුවලට වීසා ඉල්ලුවාම ඒ රටවල් වීසා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර නඩු කටයුතුවලදී ලබාදුන්නු තීන්දු මේවාට හේතු වෙලා තියෙනවා කියල තමයි ආරංචියි’ යනුවෙන් දයාසිරි ‘රාජ්‍ය රහස්’ තීරයට කියා සිටියේය.

රණවිරුවන් අසරණ වෙයිද?

ඒ අනුව බොහෝ දෙනා මේ වන විට බලාපොරොත්තුව සිටින්නේ එක් වතාවකදී බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටි ආකාරයටම මෙම නිලධාරීන් සම්බන්ධයෙන්ද පෙනී සිටිනු ඇති බවකි. නමුත් පෙනෙන්නට ඇති ආකාරයට නම් ආණ්ඩුව සිටින්නේ මේ සම්බන්ධයෙන් තරමක් නිහඬ පිළිවෙතකය. එම නිහඬ බව හමුවේ මේ වන විට අසරණභාවයට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා අභීතව හමුදාව මෙහෙයවනු ලැබූ හමුදා ප්‍රධානීන් ඇතුළු රණවිරුවන්ය.

බැසිල් ගහපු සල්ගාදු ගේම

මේ ආකාරයට ආණ්ඩුව මානව හිමිකම් කොමිසමේ සැසිවාරය සමග ගනුදෙනු කරන අතරවාරයේ පසුගිය සතියේ මුදල් අමාත්‍යවරයා මෙන්ම පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාද වූ බැසිල් රාජපක්ෂ මහතා වෙනම මෙහෙයුමක නිරතව සිටියේය. ඒ, විපක්ෂය ආණ්ඩුවට එරෙහිව කුමන චෝදනා එල්ල කළත් තවමත් ජනමතය ආණ්ඩුව සමග පවතින බව විපක්ෂයට පෙන්වීමේ මෙහෙයුමේය. එසේත් නැතිනම් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිසිවක් නොමැතිව පවත්වන පොහොට්ටුවේ පළමු රැස්වීම සාර්ථක කරගැනීමේ අභියෝගය සාර්ථක කරගැනීමටය. රැස්වීම සංවිධාන කර තිබුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේය. රැස්වීම සඳහා සල්ගාදු ක්‍රීඩාංගනය යොදාගැනීම සම්බන්ධයෙන් අරමුණු කිහිපයක් ඉටුකර ගැනීම බැසිල්ගේ අභිප්‍රාය විය. ඉන් පළමුවැන්න වූයේ ඡන්ද නොමැති නිසා කිසියම් නිහඬ බවක සිටි පොහොට්ටුව තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බව විපක්ෂයටත්, රටටත් පෙන්වීමය. අනෙක් අතට විවිධ රැස්වීම් පවත්වමින් ඔළුව එසවීමට උත්සාහ දරන විපක්ෂයේ ජනමතය කඩා බිඳදැමීමය. මීට අමතරව පළමු වතාවට ජනාධිපතිවරයා පොහොට්ටුවේ දේශපාලන වේදිකාවට ගෙන ඒමද මෙම රැස්වීමේ තවත් අරමුණක් විය.

ශාලාවක තියන්න ආ යෝජනාවට බැසිල් බෑ කියයි!

ඒ අනුව මෙවැනි රැස්වීමක් සංවිධාන කිරීම අත්‍යාවශ්‍ය බව බැසිල් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පෙන්වා දී තිබුණේ එසේ නම් සම්මන්ත්‍රණ පවත්වන ආකාරයට ශාලාවල එම රැස්වීම් සංවිධාන කරන ලෙසටය. නමුත් ඊට බැසිල්ගේ එකඟතාව පළවූයේ නැත. බැසිල් කියා සිටියේ පවත්නා තත්ත්වය යටතේ ආණ්ඩුවට ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය නම් දිස්ත්‍රික් මට්ටමින් එළිමහන් ක්‍රීඩාංගනවල මෙම රැස්වීම් සංවිධාන කළ යුතු යැයි කියාය. ඒ අනුව බැසිල්ගේ තේරීම වූයේ අනුරාධපුර ඇති ලොකුම ක්‍රීඩාංගනය වන සල්ගාදු ක්‍රීඩාංගනයය.

දවස් 3ක් අමාත්‍යංශයටවත් ‌නොයයි!

රැස්වීමේ සංවිධාන කටයුතු බැසිල් විසින් භාරදුන්නේ රෝහිත අබේගුණවර්ධනටය. මෙම රැලිය සාර්ථක කරගැනීම සඳහා කොපමණ උත්සාහ ගත්තාද කියනවා නම් ඊට පෙර දින 3ක් එක දිගට බැසිල් මුදල් අමාත්‍යාංශය පැත්ත පළාතේ නොයා බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයේදී ඊට අදාළ වැඩකටයුතු සංවිධාන කළේය. වේදිකාව නිර්මාණය කිරීම, රැස්වීමට ජනතාව ගෙන ඒම, කථික ලැයිස්තුව තීරණය කිරීම, ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සියල්ල බැසිල් බත්තරමුල්ල කාර්යාලයට වී සිදුකළේය. එමෙන්ම රැස්වීම ආරම්භයෙන් පසු මුලින්ම බැසිල් රැස්වීමට සම්බන්ධ වීමටත්, ඉන් අනතුරුව ජනාධිපති සහ අගමැතිවරයා එකට වේදිකාව මතට ගොඩවීම සිදුවිය යුතු බවටත් තීරණය විය. රැස්වීම පැවැති දිනයේදී විපක්ෂය සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් රැස්වීම අසාර්ථක බව පෙන්වීමට විවිධ කටයුතු සිදුකර තිබුණත් ආණ්ඩුවේ සියලු දෙනාගේ මතය වී ඇත්තේ රැස්වීම සිතූ ආකාරයටම සාර්ථකව පැවැත්වුණු බවකි.

මහින්දගේ අත උස්සන්න ගිහින් රෝහිතත් මහින්දගෙන් අහගනී!

කෙසේ වෙතත් මෙම රැස්වීමේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් පළමු කාරණාව වූයේ ආණ්ඩුව නියෝජනය කරන කිසිදු හවුල්කාර පක්ෂ නියෝජිතයකු සහභාගි කර නොගෙන තනිකර පොහොට්ටුවේ සාමාජිකයන් පමණක් රැස්වීම සංවිධාන කොට තිබීමය. ඒ පැත්තෙන් ගත් විට දැවැන්ත ජනකායක් රැස්වීමට සහභාගි වීම හරහා පොහොට්ටුවේ එම අරමුණ සාර්ථක වී ඇති බවක් දැකගන්නට ඇත. නමුත් වේදිකාවේ සිදුවූ යම් යම් සිදුවීම් මුල්කරගෙන රැස්වීමේ සාර්ථකත්වයට වඩා සමාජ මාධ්‍යවල කතාබහට ලක්වූයේ ඊට අදාළ සිදුවීම්ය. ඉන් පළමුවැන්න වූයේ අගමැතිවරයා වේදිකාවට පැමිණ දකුණු අත ඔසවා ජනතාවට ආචාර කරද්දී රැස්වීමේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ රෝහිත අගමැතිවරයා පසුපසින් සිට ඔහුගේ වම් අත එසවීමට කටයුතු කිරීමය. මෙහිදී අගමැතිවරයා කෝපයට පත්ව රෝහිතගේ අත ගසාදමා ඉවත බලාගත් ආකාරයක් දැකගත හැකි විය. රෝහිත හා සමාජ මාධ්‍ය අතර පවතින ගැටුම නිසා මෙම සිදුවීමට සමාජ මාධ්‍යවල විශාල ඉඩකඩක් වෙන්ව තිබීම විශේෂ සිදුවීමක් විය.

ඔයා ඕනෙ නැති වැඩක්නෙ කළේ

කෙසේ වෙතත් මෙම රැස්වීමට පැමිණෙද්දී පවා මහින්ද සිටියේ රෝහිත සමග කිසියම් අමනාපයකින්ය. මහින්ද කී වැඩ කිහිපයක්ම රෝහිත විසින් අතපසු කර තිබීම ඊට හේතුව වී තිබිණි. ඒ අනුව මෙම සිදුවීමත් සමග මහින්ද සිය ආසනයේ අසුන් ගැනීමෙන් පසු රෝහිත මහින්ද අසලට ගොස්, ‘සර් මම හොඳක් කරන්න ගියේ…’ යැයි කියා සිටියත් මහින්ද ඊට පිළිතුරු නොදී කෝපයට පත් මුහුණෙන් යුතුව ඉවත බලා ගත්තේ ‘ඔයා ඕනෙ නැති වැඩක්නෙ කළේ’ යැයි කියමිනි.

ජනතාව මහින්දගෙන් පොහොර ඉල්ලයි

ඊළඟ සිදුවීම වූයේ මහින්දගේ කතාව අතරතුරදීය. මෙහිදී මහින්ද සිය කතාව කරමින් සිටියදී එක් තැනක ජනතාවගෙන් අවශ්‍ය මොනවාදැයි විමසද්දී ජනතාව එක හඬින්, ‘අපට පොහොර ඕනෑ’ යැයි කියා සිටීම විශේෂ සිදුවීමක් විය. අනුරාධපුර යනු ගොවිතැනට ප්‍රසිද්ධ ප්‍රදේශයක් වීම නිසාත්, රැස්වීමට පැමිණ සිටි බොහෝ දෙනකු ගොවිතැන ආශ්‍රිතව ජීවත් වන පිරිස් වීම නිසාත් මෙසේ බොහෝ දෙනා පොහොර ඉල්ලා කෑගැසූ ආකාරයක් දැකගන්නට හැකි විය. එම සිදුවීම රූපවාහිනී මාධ්‍යවල නොපෙන්නුවත් සමාජ මාධ්‍යවල නම් ඊට අදාළ රූප රාමු විශාල ජනප්‍රියත්වයක් ලබා තිබූ ආකාරයක් දැකගත හැකි විය.

අලුත්ගමගේ ආවේ නැත්තේ ඇයි!

තුන්වැනි සිදුවීම වූයේ ආණ්ඩුවේ ප්‍රධාන කථිකයකු මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාද වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා රැස්වීමේදී දැකගන්නට නොලැබීමය. පොහොර ප්‍රශ්නය හේතු කොට ගෙන පසුගිය කාලයේ දී මහින්දානන්දට විශාල විරෝධයක් මතුව තිබීම නිසා ඔහු මෙම රැලියට සහභාගි වී නොමැති බව එහිදී බොහෝ දෙනාගේ අදහස විය.

මහින්දගේ අභියෝගය සජබ බාරගනී!

එමෙන්ම මෙම රැස්වීමේදී තවත් විශේෂ කරුණු දෙකක් දැකගන්නට ලැබිණි. ඉන් එකක් වූයේ මහින්ද ප්‍රසිද්ධියේම මැතිවරණවලට සූදානම් වන ලෙසට විපක්ෂයට අභියෝග කර සිටීමය. මහින්දගේ මෙම අභියෝගයත් සමග එදිනම රාත්‍රියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අතර කෝල් කොන්ෆරන්ස් මාර්ගයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මන්ත්‍රීවරු සජිත්ගෙන් විමසා සිටියේ සල්ගාදු පිටියේදී මහින්ද කළ අභියෝගය කෙසේ භාරගන්නවාදැයි කියාය. එහිදී සජිත් පිරිසට පැහැදිලිවම කියා සිටියේ තමන් මහින්දගේ අභියෝගය සල්ගාදු පිටියේදීම භාරගැනීමට සූදානම් යැයි කියාය.

මමත් සල්ගාදු පිටියට ලබන මාසේ එනවා! අපි බලමු!

‘මහින්ද අපට චැලෙන්ජ් කළේ සල්ගාදු පිටියෙ ඉඳන්නෙ. මම ලෑස්තියි මහින්දගෙ ඒ අභියෝගය භාරගන්න. ඒ වගේම ලබන මාසෙදි මමත් සල්ගාදු පිටියට එනවා. අපි බලමු එදාට ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්කද, විපක්ෂයත් එක්කද කියලා. ඒ වගේම අපි ඕන වෙලාවක ජන්දෙකට මුහුණ දෙන්න ලෑස්තියි. ආණ්ඩුව තමයි ජන්ද කල් දාලා බයේ දඟලන්නේ’ යැයි කී සජිත් බදාදා දිනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා එය රටට දැනුම් දෙන ලෙස මරික්කාර්ට කියා සිටියේය. ඒ අනුව බදාදා දින පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මරික්කාර් ආණ්ඩුවට අභියෝග කරමින් කිසා සිටියේ ආණ්ඩුවේ ඡන්ද අභියෝගය භාරගැනීමට සජබය සූදානම් බවත්, හැකි නම් කල්දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්ය.

ආණ්ඩුවේ හවුල් පක්ෂ සල්ගාදු රැස්වීම දැක්ක හැටි!

රැස්වීමේදී දැකගන්නට ලැබුණු දෙවැනි කාරණාව වූයේ පොහොට්ටුවට සම්බන්ධ අනෙකුත් පක්ෂ ඊට සහභාගි නොවී සිටීමය. ඒ අනුව බොහෝ දෙනා බලා සිටියේ ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්දැයි කියාය. මෙහිදී කිසිදු පක්ෂයක් ඊට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වූයේ නැති නමුත් පාර්ලිමේන්තු ලොබියේදී කිහිප දෙනකුම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණි. එහිදී විමල්, ගම්මන්පිල, තිස්ස විතාරණ ඇතුළු බොහෝ දෙනකු කියා සිටියේ සල්ගාදු පිටියේ රැස්වීමත්, ආණ්ඩුවේ වැඩ ලක්ෂයේ වැඩපිළිවෙළත් බැසිල් පුම්බන වැඩසටහන් නිසා ඊට තමන් සම්බන්ධ නොවන බවකි.

සනත් නිශානත කට වරද්දා ගනී!

මේ අතරවාරයේ පසුගිය සතියේ තවත් විශේෂ සිදුවීමක් වූයේ රාජ්‍ය අමාත්‍යවරයකු වන සනත් නිශාන්ත මහතා කාදිනල් හිමියන්ද සහභාගි වී සිටි උත්සවයකට ගොස් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් චෝදනා එල්ල වන ආකාරයට අදහස් දක්වා තිබීමය. මෙහිදී සනත් නිශාන්ත කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් දීමට ආණ්ඩුව තවමත් පියවර ගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සිය හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බවත්ය.

ජනපතිගෙන් කන පිරෙන්න අහගනී!

කෙසේ වෙතත් සනත් නිශාන්ත මෙම කතාව සිදුකොට විනාඩි 10ක් යෑමට මත්තෙන් ජනාධිපතිවරයාගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. එහිදී දැඩි ස්වරයකින් යුතුව සනත් නිශාන්තට කතා කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරද්දී සනත් නිශාන්ත කියා සිටියේ තමන් එය මෛත්‍රිපාලව ඉලක්ක කර කියා සිටි බවත්, කාදිනල් හිමියන් පවා එම ස්ථාවරයේ සිටින බවත්ය.

නමුත් ජනාධිපතිවරයා සිටියේ වෙනත් ස්ථාවරයකය.

ඔයා ගහලා තියෙන්නෙ ‌මෛත්‍රීපාලට නෙමෙයි මටයි ආණ්ඩුවටයි!

‘ඔයා එහෙම නෙවෙයි එතන කතා කරලා තියෙන්නේ. කොටින්ම මෛත්‍රිපාල ගැන නෙවෙයි, ඔයා මටයි ආණ්ඩුවටයි ගහල තියෙන්නේ. ඔයා එහෙම කතා කරනව නම් ඔයාට ආණ්ඩුවෙ ඉන්න බැහැනෙ.’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා කළ බැණවැදීමෙන් පසු සනත් නිශාන්ත වහාම නිවෙසට ගොස් සිය කතාව රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය කර තිබූ ආකාරය යළි නැරැඹීමට පියවර ගත්තේය. තමන්ගේ කතාවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අපහසුතාවට පත්වන ආකාරය එහිදී සනත් නිශාන්තටද වැටහිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට අවස්ථාවක් සොයමින් සිටි සනත් නිශාන්තට එම අවස්ථාව උදාවූයේ පසුගිය සඳුදා අරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ජනපති තකහනියක් අරලිය ගහමැදුරට එයි! සනත් නිශාන්තට ආයෙත් කෑ ගහයි!

එම රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැතියත් ඊට තකහනියක්ම සහභාගි වීමට ජනාධිපතිවරයා පැමිණියේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක්ම මතුව තිබීම නිසාය. ඉන් එක් ගැටලුවක් වූයේ පෙර කී සනත් නිශාන්තගේ ප්‍රශ්නයය. ඊළඟ ගැටලුව වී තිබුණේ ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඩොලර් ප්‍රශ්නය මතුව ඇත්තේ කොරෝනා නිසා පමණක්ම නොවන බවට ඇමැති ගම්මන්පිල ප්‍රසිද්ධියේ කර තිබූ ප්‍රකාශයය. ඒ අනුව පළමුවෙන්ම ජනාධිපතිවරයා අවස්ථාව ලැබුණු සැණින් එළියට ගත්තේ සනත් නිශාන්ත සම්බන්ධ මාතෘකාවය. ඒ පිළිබඳ තරමක් කේන්තියෙන් යුතුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාර සිදුවීමේ විමර්ශන සම්බන්ධයෙන් මේ වන විට විශාල වැඩකොටසක් සිදුකර බවත්, ඊට රජයේ පාර්ශ්වයෙන් දිය හැකි සියලු සහයෝගය ලබාදී ඇති බවත්ය. මැති ඇමැතිවරුන් ඒ පිළිබඳ අදහස් දක්වද්දී වගකීමෙන් යුතුව අදහස් දැක්විය යුතු බව කියා සිටි ජනාධිපතිවරයා කරුණු නොදැන කතා නොකරන ලෙසත්, කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ විමසන ලෙසත් මැති ඇමැතිවරුන්ට දැනුම් දී සිටියේය.

සනත් නිශාන්ත සමාව ඉල්ලයි!

ඒ අනුව වහාම ඊට පිළිතුරු දුන් සනත් නිශාන්ත තමන් අතින් අත්වැරැද්දක් සිදුවූ බව කියමින් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටීමට පියවර ගත්තේය.
‘සර් මට කතා කරලා බැන්නට පස්සේ මම ගෙදර ගිහින් මොකක්ද කිව්වේ කියලා ආයෙත් රිවයින් කරලා බැලුවා. එතකොට මට තේරුණා මම කරපු කතාව සැර වැඩී කියලා. ඒ ගැන මට සමාවෙන්න…’ යනුවෙන් සනත් නිශාන්ත කළ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා ඉන් ඉදිරියට එම මාතෘකාව රැගෙන යෑමට පියවර නොගත්තේය.

ගම්මන්පිලට වටකර පහර දීමක්!

ඉන් අනතුරුව ජයන්ත කැටගොඩ, ගම්මන්පිලගේ ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරමින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස දැනුම්දී සිටියේය. ඒ අනුව ගම්මන්පිල සිය පැහැදිලි කිරීම විනාඩි 40ක් පමණ වේලාවක් ගෙන කියද්දී ජගත් කුමාර, තිස්ස කුට්ටිආරච්චි, ජයන්ත කැටගොඩ යනාදීන් ඊට එරෙහිව දැඩිව අදහස් පළකරන ආකාරයක් දැකගත හැකි විය. ඒ පාරේ යමින් ජනාධිපතිවරයාද මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දුන්නේ කොරෝනා අර්බුදය හේතුකොට ගෙන මෙම ආර්ථික අර්බුදයද උග්‍ර වූ බවකි. ජනාධිපතිවරයා ඒ ආකාරයට අදහස් පළ කර තිබුණද ඉන් අනතුරුව නැවත වතාවක් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගම්මන්පිල තම ස්ථාවරය නැවත තහවුරු කර තිබීමද විශේෂ සිදුවීමක් විය.

වාසු සරත් වීරසේකරට බැට දෙන්න පටන් ගනී!

ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන මාතෘකාව වූයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සිය හිතුමතේට සිදුකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත්කිරීම්ය. ඊට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කළේ වාසුදේව නානායක්කාරය. වාසුදේව කියා සිටියේ සරත් වීරසේකර ස්ථානාධිපතිවරුන් පත්කරන්නේ අමුතුම ක්‍රමයකට බවත්, එම පත්කිරීම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා හෝ පළාතේ දේශපාලන අධිකාරිය හෝ ඇමැතිවරයා හෝ නොදන්නා බවක්ය. මෙම තත්ත්වය යටතේ සංවර්ධන වැඩකටයුතුවලදී දේශපාලන අධිකාරිය හා පොලිසිය අතර මතගැටුම් ඇතිවන බවද වාසු එහිදී පෙන්වා දුන්නේය. වාසුගේ චෝදනාවට පිළිතුරු දෙමින් සරත් වීරසේකර වහාම කියා සිටියේ දේශපාලකයන්ට අවශ්‍ය විදියට පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කළ නොහැකි බවත්, ජනාධිපතිවරයා පවා තමන්ට ස්වාධීන ආකාරයෙන් පොලිසිය පවත්වාගෙන යන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත්ය.

බැසිල් මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගනී!

නමුත් වීරසේකරට විරෝධය පළකරමින් කතා කළ බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේ පළාතේ දේශපාලනය කරද්දී පොලිසියද ඊට සහාය දැක්විය යුතු යැයි කියාය.
‘නෑ ඇමැතිතුමා ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඕ.අයි.සී.වරු පත්කරද්දී ඒ ඒ පළාත්වල දේශපාලන අධිකාරිය දැනුවත් කරලා පත්කරන එක තමයි සාමාන්‍ය සිරිත. ඒකෙන් ගැටුම් ඇතිවන එක අඩුවෙනවා. සංවර්ධන වැඩකටයුතුවලදී ඒක අත්‍යාවශ්‍යයි. ඒ නිසා ඔබතුමා ඕ.අයි.සී.ලා පත්කරද්දී පළාතෙ මැති ඇමැතිවරුන් එක්කත් පොඩ්ඩක් කතා කරන්න..’ යනුවෙන් බැසිල් මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගනිද්දී ඇතැම් මන්ත්‍රීවරුන්, ‘ඕ.අයි.සී. කෙනෙක් ලක්ෂ 3යි… ලක්ෂ 4යි….’ කියමින් කෑගසන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

මහින්දත් බැසිල්ගේ පාරේ!

බැසිල්ගෙන් පසු මහින්දද දැරුවේ ඒ හා සමාන ස්ථාවරයකි.

‘ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනෙ. මොකද ඕ.අයි.සී. එක්ක යුද්ධ කර කර ගමේ දේශපාලනය කරන්න බෑ. ඒ හින්දා ඔබතුමා ඕ.අයි.සී.වරු පත්කරද්දී පොඩ්ඩක් මන්ත්‍රීවරුන්ගෙනුත් අහල ඒ පත්කිරීම කරන්න. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න හැදෙනවා.’ යනුවෙන් කියමින් මහින්දද මන්ත්‍රීවරුන්ගේ පැත්ත ගෙන කතාකිරීම නිසා සරත් වීරසේකර සද්ද නැතිව සිටි ආකාරයක් දැකගත හැකි විය.

කපිල පුංචිමාන්නගේ