බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට වික්ටර් අයිවන් “චෞර රැජණ“ පොත ගහපු හැටි: හිටපු ගුවන් හමුදා නිලධාරී කීර්ති රත්නායක (Video)

එක් වකවානුවක දිවයිනේ රැඩිකල්ම මාධ්‍යවේදියා වූ වික්ටර් අයිවන් රාවය පුවත්පතේ ලියා පළ කළ චෞර රැජණ ලිපි මාලාව පොතක් ලෙස මුද්‍රණය වන්නේ බැසිල් රාජපක්ෂගේ දේශපාලන උවමනාව ඉටු කිරීමට බව එම මුල් ලිපි මාලාව සඳහා තොරතුරු ලබා දුන් බව කියන හිටපු ගුවන් හමුදා නිලධාරී කීර්ති රත්නායක පවසයි.

බැසිල් රාජපක්ෂගේ දේශපාලන උවමනාවට එදා තමන්ද පාවිච්ච වූ බව කියන කීර්ති රත්නායක මේ සිදුවීම සොනාලි සමරතුංග විසින් මුලුමනින්ම හෙළි කළ බවත්, බැසිල් රාජපක්ෂලා එදා මෙම පොත භාවිතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ චරිතය ඝාතනය කරමින් රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමට බවත් කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු මේ හෙළිදරව්ව කරන්නේ අන්තර්ජාල නාලිකාවක් හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔහු ඒ සම්බන්ධව කියන්නේ මෙවැනි කතාවකි.

“චෞර රැජණ ලියපු පොතක් නොවෙයි. එය වික්ටර් අයිවන් මහත්මයත් කියලා තියනවා. එතන තිබුණේ රාවය පත්තරේ ඔහු ලියපු ලිපි කීපයක්.

“මේ ලිපි කීපය එකතු කරලා චෞර රැජණ පොතක් විදිහට එළියට එන්නෙ දේශපාලන අවශ්‍යතාවයක් මත. මේ පිටුපස ඉන්නෙ බැසිල් රාජපක්ෂ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමට ඔවුන් දියත් කරන ලද උපක්‍රමවල එක් කොටසක් විදිහට තමයි මේ පොත නිකුත් කරන්නෙ. චන්ද්‍රිකා මැතිණියගේ ප්‍රතිරූපයට හානි කරලා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීම සඳහා යොදා ගත්තු එක උපකරණයක් තමයි මේ පොත.“

“මේක ගැන සොනාලි සමරතුංග ලිපි ගණනාවක් ලියනවා. ඇය මේ සිද්ධිය නම් ගම් එක්කම ලියලා හෙළි දරවු කළා. චෞර රැජණ පොත පිටිපස්සෙ ඉන්නෙ බැසිල් රාජපක්ෂ, වික්ටර් අයිවන්, කුමාර් රූපසිංහ සහ කීර්ති රත්නායක කියලා ඇය ලිව්වා.“

“කුමාර් රූපසිංහගෙ පාර්ලිමේන්තු පාරෙ නිවසෙ තමයි මේ වැඩේ සිදධ වුනේ කියලා ඇය පැහැදිලිවම ලියලා තියනවා. ඇයට ඒ වසරේ හොඳම ගවේෂණශීලී මාධ්‍යවේදිනියට හිමි සම්ම්නයත් ලැබුණා.“

“ අනූ ගණන්වල ඉඳලා මම දැකපු දෙයක් තමයි රැඩිකල් මාධ්‍ය කලාව කියන එක මේ රටට අවශ්‍යයයි කියලා. ඒ කාලෙ ඩිජිටල් මාධ්‍ය තිබ්බෙ නෑ. තිබුණේ මුද්‍රිත මාධ්‍යය. වික්ටර් අයිවන් මහත්තයා ඒ කාලෙ මුද්‍රිත මාධ්‍යයෙ විප්ලවීය චරිතයක්. මම ඒ කාලෙ යම් අවැඩක් සිද්ධ වෙලා තිබ්බොත්, වංචාවක් තිබ්බොත් ඒ තොරතුරු ඔහුට ලබා දෙනවා. චෞර රැජණ ලිපි මාලාවට අවශ්‍ය සමහර වැදගත් තොරතුරු මා ඔහුට ලබා දුන්නා. මා එහෙම කළේ මේ රට යහපත් දිශාවකට යොමු කරන්න. එහෙම නැතිව වෙන කිසිම දේකට නෙමෙයි.“

“මෙතනදි මමත් පාවිච්චි උනා. මේ ක්‍රමවේදය ඇතුළෙ මාධ්‍යවේදීන් පාවිච්චි විය හැකියි. මගෙන් ලබාගත්තු කරුණු කාරණා දේශපාලන වැඩ පිළිවෙළක් වෙත යොදාගත්තා කියලා මා හිතනවා.“