ඊළඟ හිට්ලර් පුටින්? : ප්‍රියන්ත හෙට්ටිගේ
‘උඹලා හතර දෙනා මේ වැඩේ හරියටම කරන්න ඕනෑ. උඹලට අපි හොඳ ගණනක් ගෙවනවා. රූබල් මිලියන 15ක් දෙනවා හරියටම මේ වැඩේ කළොත්. ඒ කියන්නේ ඇමෙරිකන් ඩොලර් 2,53,000ක් විතර, මුලින් කොටසක් දෙන්නම්. උඹලාගෙන් එකෙක් විතරයි පිස්තෝලය පාවිච්චි කරන්නේ. මිනිහට එතැනම වෙඩි තියලා මරලා දාන්න ඕනෑ. ආයෙත් පොඩ්ඩක්වත් පණ තියෙන්න බැහැ. අපි මිනිහා කවුද කියලා පෙන්වන්නම්, පිටිපස්සෙන් තමයි වෙඩි තියන්න ඕනෑ. මිනිහා පාලම උඩින් ඇවිදගෙන යන්නේ එයාගේ පෙම්වතියත් එක්ක. රෑට තමයි මේක වෙන්නේ. මිනිහාගේ පෙම්වතියට වෙඩිතියන්න ඕනේ නැහැ. හරියටම මිනිහා ඉලක්ක කරලා වැඩේ කරන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනෑ. එතැනම වැඩේ ඉවර කරලා දාන්න ඕනෑ. හෙට තමයි දවස, ලෑස්ති වෙනවා.’
කළු දිගු කබායක් පැලඳ, උස් තොප්පියක් දමාගත් මිනිසා කියන්නට වූයේය. ඔහුගේ වදන් තවත් මිනිසුන් හතරදෙනෙකු ඉතා උනන්දුවෙන් අසා සිටියේය. සති කිහිපයක් පුරා සිදුකරන ලද බියකරු සැලැසුමක අවසාන දිනය එය විය. කාලය හෝරාවෙන්, හෝරාව ගතවී ගියේය. හරියටම 2015 පෙබරවාරි 27 වැනිදා උදාවිය. එදින දවසද ගතවෙමින් තිබුණු අතර, රාත්රියද එළඹෙමින් තිබුණේය. රුසියාවේ මොස්කව් නගරයේ, ක්‍රෙම්ලීනයට ආසන්න බොල්ෂෝයි පාලම ඉතා මනහරව විදුලි ආලෝකයෙන් ඒකාලෝක වී තිබිණි. හරියටම වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය. එනම් ඒ වන විට වේලාව රාත්‍රී 11.31 වී තිබිණි. බොහෝ පිරිසක් පාලම මතින් ඇවිදිමින් සිටියෝය. සිදුවන්නට යන කිසිවක් නොදත් බොරිස් නෙම්ට්සොව් (ඊදරසි භැපඑිදඩ) නැමැති සුවිශේෂ මිනිසකු තම පෙම්වතිය සමග පාලම මතින් සෙමෙන්, සක්මන් කරමින් සිටියේය. මොස්කවා නදිය ඉතාම සුන්දරව පාලම යටින් ගලාගෙන යමින් තිබුණේය.
ගොදුරට කුරුමානම් අල්ලන දඩයක්කරුවෝ සෙමෙන්, සෙමෙන් යුවල ගමන් ගන්නා දෙසට පසුපසින් පියවර තැබූහ. එතැන ලකලැහැස්තිව සිටි වෙනත් එකෙකු ගොදුර කුමක් දැයි වෙඩික්කරුවන්ට පෙන්වා සිටියේය. තවත් ගතවූයේ මිනිත්තු තුන හතරක්ද පමණි. රුදුරු යක්ෂයින් ගොදුර ඩැහැ ගන්නට ළඟටම පැමිණියේය. රුසියානු ‘මකරොව්’ ස්වයංක්‍රීය පිස්තෝලයෙන් දිගට, හරහට වෙඩි හත අටක් ගලා ගියේය. බොරිස් නෙම්ට්සොව් නැමැති මිනිසා කෙසෙල් කඳක් කපා දැමුවක් මෙන් එතැනම ඇදවැටුණේය. ඔහුගේ පෙම්වතිය මර ළතෝනි දෙමින් හඬා වැටෙන්නට වූවාය. කුරිරු වෙඩික්කරුවෝ වහා එතැනින් පලාගියහ. මිනිසාගේ ගතෙහි හුස්ම පොදක්වත් හෝ ඉතිරිව නොතිබිණි. හිසට, හදවතට සහ ආමාශයේ ඉන්ද්‍රියන් සියල්ලටම පාහේ දරුණු ලෙස වෙඩි පහරවල් වැදී තිබුණේය.
‘මොස්කවා’ නදියට අමතරව ‘බොල්ෂෝයි’ පාලම මතින්ද රුධිර ගංගාවක් ගලාගිය මෙම ඛේදනීය කතාව කුමක්ද?
මෙයට හරියටම වසර 07කට පෙර සිදුවූ මෙම සිදුවීම අද ලෝක ඉතිහාසයට එක්ව ඇති වගතුගකි. රුසියාවෙන් එළිපෙහෙළි වන මෙම කතාව ගලාගෙන එන්නේ, රුසියාවේ වත්මන් රාජ්‍ය පාලනයද සම්බන්ධ කර ගනිමිනි. එනම් වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන්ගේ පාලන තන්ත්රය හරහාය. බොරිස් නෙම්ට්සොව් යනු රුසියානු රජයේ හිටපු ප්‍රබල ජනාධිපති බොරිස් යෙල්ට්සින් පාලන සමයේ සිටි නියෝජ්‍ය අගමැතිවරයාය. එනම් මෙය ව්ලැඩ්මීර් පුටින් ජනාධිපති ධුරයට පත්වීමට පෙර තිබුණු රාජ්‍ය පාලනයයි. කෙසේ හෝ එම පාලක තන්ත්රය ඉවත්ව ගිය පසු පුටින්ගේ පාලනය ආරම්භ විය. මෙවැනි වටපිටාවක් යටතේ පුටින්ගේ පාලන ක්‍රමය විවේචනයට ලක්කරනු ලැබූ ප්‍රධානතම දේශපාලකයා වූයේ මෙම හිටපු අගමැති බොරිස් නෙම්ට්සොව්ය. ඒ හෙයින් ජනාධිපති පුටින්ගේ පරම හතුරා වූයේ මෙම මිනිසාය. මෙවැනි තත්ත්වයක් යටතේ ජනාධිපති පුටින් පාලනය තීරණය කර සිටියේ කෙසේ හෝ නෙම්ටසොව්ගේ කට වැසිය යුතු බැව්ය.
මෙය එක්තරා ආකාරයකින් අතිශය සූක්ෂ්ම වූ කුමන්ත්‍රණයක් හරහා සිදුකෙරුණු මිනීමැරුමකි.
නෙම්ට්සොව් අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියේ කියා සිටියේ ජනාධිපති පුටින් විසින් තමන් ඝාතනය කරන බැව්ය. එය කෙසේ හෝ ඒ ආකාරයෙන්ම සිදුවුණි. එහෙත් මෙම ඝාතනය ගැන රුසියානු රජය කියා සිටියේ, නෙම්ට්සොව් ඉස්ලාමික ප්‍රජාවට විරුද්ධ පුද්ගලයකු හෙයින්, ඉස්ලාමික කුමන්ත්රණකරුවන් විසින් ඔහු ඝාතනය කළ බැව්ය. එසේම මෙහිදී හෙළිවන තවත් සුවිශේෂී වගතුගක් වන්නේ, මෙම වත්මන් දිනවලටම අදාළ වූ පුවතකි. එනම් නෙම්ට්සොව් යනු රුසියානු – යුක්රේන යුද්ධයට බලවත් සේ විරුද්ධ වූ පුද්ගලයකු වෙයි. මෙම දිනවල ඉතා දරුණු ලෙස යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ලැහැස්තිව සිටියි. මෙය පුටින්ගේ පාලන තන්ත්රය තුළ තිබුණු ප්‍රබල යුද ක්‍රියාකාරකමකි. මෙම තත්ත්වයට නෙම්ට්සොව් ඉතාමත් ප්‍රබල ලෙස විරුද්ධ වූ අතර, කාලයක් පුරා ඉතා ප්‍රබල ලෙස ඔහු විසින් පුටින් විවේචනයට ලක්කළේය. එසේම රුසියානු ජනතාව එක්රැස් කරමින් විරෝධතාවයන් පවා පැවැත්වීය. මෙහිදී හෙළිවන තවත් සුවිශේෂී පුවතක් නම්, බොරිස් නෙම්ට්සොව්ගේ පෙම්වතියය වන අන්නා දුරිට්ස්කයා (්බබ් ෘමරසඑින්හ්) ද යුක්රේන තරුණියක් වන අතර, ඇය යුක්රේනයේ ජාතික රූපසුන්දරිය වූවාය.
රුසියාවේ හිටපු නියෝජ්‍ය අගමැති බොරිස් නෙම්ට්සොව් මෙසේ දේශපාලනික ලෙස ඝාතනයට පත්වන විට ඔහු 55 වැනි වියෙහි පසුවිය. අද ඔබට මෙම සුවිශේෂ කතාව මුලින්ම ලියා තබන්නට හේතු වූයේ ඇයි. එය නම් මේ දිනවල රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ගැන ලෝකය පුරාම සිදුවන කතාබහයි. එනම් ඔහු කොයි මොහොතේ හෝ යුක්රේනයට පහර දෙමින් තෙවැනි ලෝක මහා යුද්ධයට මාවත හෙළිකරනු ඇතැයි පැවසෙන වගතුගයි. රුසියානු ජනාධිපතිවරයා තමන්ගේ රටේ බහුතර ජනතාවක් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති පුද්ගලයෙකි. 2018 අවසාන ජනාධිපතිවරණයේදී රටේ ජනගහනයෙන් 76%ක පිරිසක් ඔහුට ඡන්දය ලබා දුන්නේය. එහෙත් පුටින් යනු ප්‍රබල ඒකාධිපතියකු ලෙසද ලෝක දේශපාලන විචාරකයෝ තම මත ප්‍රකාශ කර සිටිති. පුටින් තමන්ගේ දේශපාලනික ජීවිතය ගෙනයෑම උදෙසා ඕනෑම දරුණු ක්‍රියාවක් සිදුකරනු ලබන කුරිරු පුද්ගලයකු ලෙසටද හඳුන්වා දෙයි. එහිදී ඔහු තමන්ට එරෙහිව එන ඕනෑම දේශපාලනික හතුරකු පවා නැතිකර දැමීමට පසුබට නොවන බැව් මෙම විචාරකයෝ ප්‍රකාශ කරති. එවැනි සිද්ධීන් රැසක්ද මේ වන විට රුසියානු දේශපාලනය තුළින් හෙළිවී ඇත.
පසුගිය කාලයේ රුසියානු ජනාධිපති පුටින්ගේ තවත් ප්‍රධානතම බිල්ලක් බවට පත්වූයේ එරට සිටි විපක්ෂ නායකවරයා වන ඇලෙක්සි නවල්නි ය. ඔහු රට තුළ ප්‍රබල දූෂණ විරෝධී ක්රියාකරුවකුද විය. එසේම පුටින්ගේ පාලන තන්ත්රය ඉතාමත් ප්‍රබල ලෙස විවේචනයට ලක්කරන ලද පුද්ගලයෙකි. දැනට 45 වැනි වියෙහි පසුවන ඇලෙක්සි නවල්නි ඝාතනය කර දැමීම සඳහා ජනාධිපති පුටින්ගේ උපදෙස් මත විවිධ කුමන්ත්රණයන් කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. වෙඩි තැබීම වැනි ක්‍රියාවලින් එය සිදුකළහොත්, එය ලෝකයට පැහැදිලිව දැනගන්නා හෙයින්, මොහුට වස ලබාදී මරණයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් විය. ඒ අනුව 2020 අගෝස්තු මාසයේදී ඔහු ජර්මනියට ගොස් සිටියදී රසායනික අවියක් භාවිත කරමින් වස ශරීරගත කිරීමට කටයුතු කළේය. එහිදී බලවත් ලෙස රෝගාතුර වූ නවල්නි ජර්මනියේ බර්ලින් නුවර රෝහලක මාසයක කාලයක් ගතකළේය. ඉන්පසුව 2021 ජනවාරි මාසයේදී ගුවන් යානාවක ගමන් කරමින් සිටියදී ආහාර සමග ප්‍රබල වසක් ලබා දුන්නේය. කෙසේ හෝ එහිදීද සුවපත්වූ ඔහු සමාජයට නැවැත පිවිසුණේය.
ජනාධිපති පුටින්ගේ පාලන කාලය තුළදී ඇලෙක්සි නවල් කිහිප වතාවක්ම සිරගත කරනු ලැබුවේය. එනම් පසුගිය 2021 වසරේදීද ඔහුට සිරදඬුවම් නියම කරන ලද අතර, දැනටද ඔහු සිර අඩස්සියේ පසුවෙයි. මෙවර මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය වහාම නියෝගයක් නිකුත් කරමින් රුසියානු රජයට ප්‍රකාශ කර සිටියේ, නවල්නිගේ සිරදඬුවම ඉවත දමන ලෙසය. එහෙත් රුසියානු රජය එම නියෝගය තැකුවේ නැත. ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම නවල්නි නිදහස් කරන ලෙස ප්‍රබල බලපෑම් සිදුකරනු ලැබුවත්, රුසියානු රජය ඒවා කිසිවක් මායිම් නොකළේය. ජනාධිපති පුටින් මේ සිදුවන කිසිවක් නොදන්නාක් මෙන් තම එදිනෙදා කටයුතු කරමින් සිටියේය. පසුගිය කාලය පුරාම නවල්නි සිර අඩස්සියේ සිටියදී ඉතාමත් දරුණු ලෙස ශාරීරික සහ මානසික වධහිංසාවලටද පත්කර ඇත. මේ නිසා මේ වන විට ඔහු බොහෝ රෝගී තත්ත්වයෙන් පසුවන බැව්ද ප්‍රකාශ වෙයි. කෙසේ හෝ නවල්නි මරණයට පත්කිරීම ජනාධිපති පුටින්ගේ අරමුණ බැව් විවිධ පාර්ශ්ව චෝදනා නඟති.
මේ ආකාරයට බලන විට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් කුරිරු පාලකයකු බැව් මනාව පෙනී යයි. තමන්ට යම් පමණක ජනතා ප්‍රසාදයක් තිබුණද, ඔහු තම පාලන කාලය තුළදී බොහෝ විරුද්ධවාදීන් මෙල්ල කිරීමට ඉතාමත්ම කුරිරු ක්‍රමවේදයන් අනුගමනය කර ඇත. දැනට හෙළිවන ජාත්‍යන්තර වාර්තාවලට අනුව, ඔහු දැනට තමන්ට එරෙහි වුණු ප්‍රධානතම දේශපාලනික විරුද්ධවාදීන් 10 දෙනෙකු පමණ ඉතාමත්ම සූක්ෂ්ම අයුරින් ඝාතනයට පත්කර ඇතැයි පැවසෙයි. මෙම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු පවා අයත් අතර, මෙම පිරිස ඝාතනය කළ ආකාරය ගැන සවිස්තරාත්මක දීර්ඝ විස්තරයක් අන්තර්ජාලයෙහි ඇත. ඡායාරූපද සමග ඇති එම තතු සියල්ලම මෙහි ලියා තබන්නට ඉඩකඩ මදිය. මේ අතර තමන්ට එරෙහිව නැඟී සිටින ජනතා පාර්ශ්ව පවා මර්දනය කිරීමට ජනාධිපති පුටින් නිරන්තරයෙන්ම කටයුතු කරයි. එනම් පසුගිය කාලයේ විරුද්ධ පක්ෂ නායක නවල්නි සංවිධානය කරනු ලැබූ දූෂණ විරෝධී උද්ඝෝෂණ රැසකටම පුටින්ගේ රජය දිගට, හරහට පහර දුන්නේය.
කෙසේ හෝ රුසියානු කොමියුනිස්ට් රාජ්‍යය 1989දී කඩාවැටීමෙන් පසු ඇති වූ නව රුසියානු පාලන තන්ත්රය හරහා මෙතෙක් බිහිවූ ප්රබලතම නායකයා ලෙස ව්ලැඩ්මීර් පුටින් සැලකෙයි. එසේම ඔහු ප්‍රධානතම ලෝක බලවතුන් තිදෙනාගෙන් එකෙකි. දැනට 69 වැනි වියෙහි පසුවන ඔහු රුසියාවේ අගමැති ධුරය 2008 සිට 2012 දක්වා වසර 4ක් දරා ඇත. එසේම ඔහු රුසියාවේ ජනාධිපති ධුරය 2000 සිට 2008 වසර දක්වා වසර 08ක් දැරූ අතර, ඉන්පසුව නැවැතත් 2012 වසරේදී ජනාධිපති ධුරයට පත්වී, මේතාක් දක්වා එම තනතුර උසුලයි. එනම් දැනට ජනාධිපතිවරණ දෙකක් නොකඩවා ජයග්‍රහණය කර බලයේ රැඳී සිටියි. කෙසේ හෝ සම්පූර්ණ කාලසීමාවන් දෙකම ගත් විටදී ජනාධිපති පුටින් වසර 18ක් දැනට ජනාධිපති ධුරය උසුලා ඇත. අගමැති ධුරය සහ ජනාධිපති ධුරය දැරීමට ප්‍රථම ඔහු රුසියාවේ එක්තරා සුවිශේෂී තනතුරක්ද උසුලා ඇත. එනම් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධාන අධ්යක්ෂ ධුරය ඔහු වසර 10ක් පුරා නොකඩවා උසුලා ඇත. මෙය රුසියානු ඔත්තු සේවයයි. එම සේවය ‘කේ.ජී.බී.’ ලෙසින්ද හඳුන්වයි.
මේ ආකාරයට ඔහු රුසියානු රාජ්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියා වීම හේතුවෙන්, පුටින් බොහෝ සූක්ෂ්ම ලෙස රාජ්‍ය කුමන්ත්‍රණ කෙරෙහි අවබෝධයක් ඇත්තෙකු ලෙස සැලකෙයි. ඒ හෙයින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුවන විටදී එය මර්දනය කිරීමටද ඔහු වහා පියවර ගනියි. තමන්ගේ වසර 18ක පාලන කාලය තුළදී පුටින්ට සහ ඔහුගේ රජයට එරෙහිව ප්‍රබල කුමන්ත්‍රණයක් දියත්වී නැත්තේ ඒ හෙයිනි. එවැනි කුමන්ත්‍රණ බටහිර රටවලින්ද දියත් වුවද ඒවා මර්දනය කිරීමට පවා ඔහු ශක්තිමත් විය. බටහිර ලෝකය ඔහු හඳුන්වන්නේ ‘කේ.ජී.බී. ඔත්තුකරුවා’ ලෙසිනි. කෙසේ හෝ ඔහු බටහිර බලවතුන් සමගද බොහෝ විට සුහද සංවාදයන්ද පවත්වයි. ඒ වුවද ඔහුගේ සූක්ෂ්ම ක්‍රම රටාව කිසිවිටෙකවත් වෙනස් වන්නේ නැත. 2020 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයට පවා පුටින් විවිධ අතපෙවීම් සහ මැදිහත්වීම් සිදුකළ බැව් වාර්තා වෙයි. මේ අතර රුසියාව දැනට වසර 05ක සිට ප්රබලව මැදිහත්වී තිබෙන යුද්ධයක් වන්නේ සිරියානු යුද්ධයයි. මෙහිදී පුටින්ගේ රුසියානු හමුදාව සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව සටන් වදිමින් සිටිති. මේ නිසා සිරියානු වැසියන් දහස් ගණනක් මරණයට පත්විය.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ දේශපාලනික ජීවිතයට අමතරව ඔහුගේ පුද්ගලික ජීවිතයද ඉතාමත්ම අරුම, පුදුම එකක් ලෙස හෙළිවෙයි. එනම් මේ වන විට ප්‍රකාශ වී ඇති දත්තවලට අනුව ඔහුගේ පුද්ගලික වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 285ක් යැයි ප්‍රකාශ වෙයි. ඔහු දැනට ජීවත් වන මාලිගයක් බඳු සුවිශාල නිවෙස එංගලන්තයේ බකිම්හැම් මාලිගය මෙන් දෙගුණයක් යැයිද සැලකෙයි. එසේම ඔහුට තිබෙන අතිශය සුපිරි යාන-වාහන, සුපිරි යාත්‍රා, ජෙට් යානා ආදියද බොහෝය. සමහර මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ, පුටින් යනු රජෙකුටද එහා සැප සම්පත් හිමි පාලකයකු බැව්ය. ඇමෙරිකානු ධනකුවේරයන්ට වඩා 50-60 ගුණයක වත්කමක් පුටින් සතු බැව් සමහර පාර්ශ්ව චෝදනා කරති. ඔහුගේ මාලිගය ඇතුළේ සමහර නිර්මාණ රත්තරනින් නිමකර ඇතැයිද ප්‍රකාශ වෙයි. මේ අතර පුටින් ගැන වාර්තාවන තවත් සුවිශේෂී පුවතක් වන්නේ, ඔහුට තරුණ පෙම්වතියන් කිහිප දෙනෙකුම සිටින බැව්ය. පුටින් තම බිරියගෙන් 2014 වසරේදී දික්කසාද වූයේය. ඔහුට දරුවන් දෙදෙනෙකු වන අතර, ඔවුන් දියණියන්ය. පසුගිය දිනෙක ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ පුටින් යනු මිනීමරුවකු බවට තමන් විශ්වාස කරන බැව්ය.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ උපදෙස් මත ඝාතනයට පත්කරන ලදැයි සැක කෙරෙන සමාජයේ පිළිගත් පුද්ගලයන් පිරිස මෙසේ දක්වා ඇත.
- බොරිස් නෙම්ට්සොව්- රුසියාවේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකි.
- ඩෙනිස් වොරොනෙන්කොව් -රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායකයෙකි.
- බොරිස් බෙරෙසොව්ස්කි-රුසියානු හිටපු ජනාධිපති යෙල්ට්සින්ගේ සමීප හිතවතකු වන රුසියානු ධනකුවේරයෙකි.
- ස්ටැනිස්ලාව් මර්කේලොව්සහ ඇනස්ටාසියා බාබුරෝවා -මානව හිමිකම් නීතිඥවරයකු සහ මාධ්‍යවේදිනිය එකම ස්ථානයකදී ඝාතනය කෙරිණි.
- සර්ජි මැග්නිට්ස්කි – දූෂණ, වංචා විමර්ශනය කළ විමර්ශකයෙකි.
- නකාලියා එස්ටෙමිරෝවා – මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.
- ඇනා පොලිට්කොව්ස්කයා -රුසියානු ප්‍රකට මාධ්‍යවේදිනියක් හා කර්තෘවරියකි.
- ඇලෙක්සෙන්ඩර් ලිට්විනෙන්කෝ – හිටපු ‘කේ.ජී.බී.’ රහස් ඔත්තු සේවා නිලධාරියෙකි.
ප්‍රියන්ත හෙට්ටිගේ