කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කීපයක ලොක්ඩවුන් තත්ත්වයන් අද සිට ක්‍රියාත්මකයි

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ වල සිදුකළ හුදෙකලා කිරීම් අද (16) අලුයම පහේ සිට ක්‍රියාත්මකයි.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශය ද අද අලුයම 5 සිට හුදකලා කළ අතර, ඒ අනුව මේවනවිට මෙරට හුදකලා කර ඇති මුළු පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 24 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මේ අතර, අද සිට හුදකලා කෙරෙන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය යන පොලිස් වසම් වල ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා සහ අධිකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, කොළඹ දක්වා බස්රථ සහ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි අද සිදු කෙරෙනවා.

අද අලුයම 5 සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද දිනයේදි කාර්යාල දුම්රිය ඇතුළු ගමන්වාර 80 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

පෞද්ගලික බස්රථ ද අද සිට සාමන්‍ය පරිදි ධාවනය වනවා. හුදකලා ප්‍රදේශ වල කිසිඳු පොදු ප්‍රවාහන සේවයක් නොනවත්වා ධාවන විය යුතු බව පොලීසිය ප්‍රකාශ කළා.