බන්ධනාගාර පොකුර දරැණු වෙයි

වැලිකඩ, මැගසින් හා බෝගම්බර, මාතර යන බන්ධනාගාරවලට සීමාවී තිබූ කොවිඩ් පොකුර ඉකුත් දින කිහිපය තුළ තවත් බන්ධනාගාර කිහිපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට පටන් ගෙන තිබීම නිසා බන්ධනාගාරවල තත්ත්වය මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.

එකී කොවිඩ් පොකුර ඉහතකී බන්ධනාගාරවලට අමතරව මේ වන විට බූස්ස හා කුරුවිට යන බන්ධනාගාරවලටද පැතිර ගොස් තිබූ අතර ඒ අනුව ඊයේ (15දා) දිනය වන විට බන්ධනාගාර හතක් තුළින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන්ගේ් සංඛ්‍යාව හාරසියතිස්හතකි. (437)

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව  නියාමක නිලධාරීන් ‍ෙදාළහක් (12), පිරිමි රැඳවූවන් දෙසීයඅනූහතරක් (294) හා කාන්තා රැඳවියන් එකසියතිස්එක් දෙනෙක්ද (131) එකී ආසාදිත පිරිස අතර සිටිති.

වැඩිම පිරිමි ආසාදිතයන් පිරිසක් පැරැණි බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වන අතර එම පිරිස 132කි. ⁣වැලිකඩ කාන්තා අංශයෙන් රැඳවියන් 117 දෙනකුද වාර්තා වන අතර සෙසු  ආසාදිතයන් බූස්ස  බන්ධනාගාරයෙන් හතළිස්හත් දෙනකු වශයෙන්ද, මාතර බන්ධනාගාරයෙන් එක් අයකු වශයෙන්ද, කුරුවිට බන්ධනාගාරයෙන් දහහතර දෙනකු වශයෙන්ද, මැගසින් බන්ධනාගාරයෙන් දෙදෙනකු වශයෙන්ද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පනස්තුන් දෙනකු වශයෙන්ද එසේ වාර්තා වෙයි.

බන්ධනාගාර තුළින් මේ ආකාරයට ආසාදිතයන් හ¾දුනා ගැනීමට සිදුවීමත් සමඟ එය පාලනය කිරීම සඳහා සූදානම් කර තිබූ පෙර සැලසුම්ද මේ වන විට ක්‍රියාවට නැංවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

එම සැලසුමේ එක් පියවරක් ලෙස වැලිකඩ  බන්ධනාගාර රෝහල මේවන විට ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයක් බවටද පත් කර තිබේ.

ඊට අමතරව පිරිමි හා කාන්තා රැඳවූවන් වෙනුවෙන් පල්ලන්සේන, වැලිකන්ද, පොළොන්නරුව ගල්ලෑල්ල ඇතුළු ප්‍රදේශවල ප්‍රතිකාර හා නිරෝධායන මධ්‍යස්ථානද ආරම්භ කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවා ඇති පෙර සැලසුම් කමිටුවේ ක්‍රියාකාරිත්වයන් අධීක්ෂණය කිරීම සඳහා ⁣බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතාගේ අධීක්ෂණයෙන් යුතු කමිටුවක්ද පිහිටුවා ඇති අතර බන්ධනාගාර නියෝජ්‍ය ⁣සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා ඇතුළු පස් දෙනකු එහි සාමාජිකයන් වශයෙන් පත්කර තිබේ.

මෙම කමිටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා (11දා) ඉහතකී නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් අවශ්‍ය පියවර රැසක්ද ගෙන තිබේ.

ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙසේ ඉහළ යෑමට පටන් ගැනීමත් සමඟ කොළඹ ප්‍රදේශයේ බන්ධනාගාරවල නිලධාරීන් පනහකට අධික පිරිසක් අනුමත නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකිරීම හේතු කොට ගෙන බන්ධනාගාර ආරක්ෂක කටයුතු පවත්වාගෙන යෑමේ අර්බුදයක්ද මේවන විට හටගෙන ඇති බව වාර්තා වෙයි.   මෙකී ගැටලුව හේතුවෙන් මේවන විට සේවයට වාර්තා කර සිටින කාන්තා හා පිරිමි නියාමක නිලධාරීන්ට දිව රෑ නොබලා අඛණ්ඩව රාජකාරි කටයුතුවල යෙදීමටද සිදුව තිබේ.

එකී ගැටලුව එසේ පවතින අතරතුර තමන්ට කොවිඩ් අවදානමක් ඇති බැවින් පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙස ඉල්ලමින් පසුගිය දින දෙකකදී බෝගම්බර හා කුරුවිට බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් වහල මතට නැඟ විරෝධතා දක්වා තිබිණි.

බෝගම්බර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේදීද සාකච්ඡාවට ගෙන තිබිණි. මෙම ගැටලුවලට මුහුණ දීම සඳහා සියලුම බන්ධනාගාර නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා ගෙන්වා ගතයුතුව ඇති අතර මෙකී කරුණු කාරණා මේ ආකාරයට සිදුවන අතරතුර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (15දා) නිවේදනය කර සිටියේ බන්ධනාගාරවලින් පිටත සිටින සියලුම බන්ධනාගාර නිලධාරීන් අද ⁣පෙරවරු 8.00 වන විට තමන් පදිංචිව සිටින ප්‍රදේශවල ආසන්නම බන්ධනාගාර වෙත වාර්තා කළ යුතු  බවත් එසේ නොපැමිණෙන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

ඊයේ දිනයේදී බන්ධනාගාර නිලධාරීන් හා රැඳවූවන් පිරිසක් පී.සී.ආර්. පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එම ප්‍රතිඵල අද නිකුත්වීමට නියමිතව තිබිණි. එකී පිරිස අතරද තවත් ආසාදිතයන් හමුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එහි ප්‍රකාශයෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙය පාලනය කිරීම සඳහා කොළඹ බන්ධනාගාර හුදෙකලා කර ඇති බවත් ඉතා  කඩිනමින් මෙම අවදානම පාලනය කිරීමට අවශ්‍ය පියවර රැසක්  ගන්නා බවත්ය.

කුරුවිට බන්ධනාගාරයේ රාජකාරි කරන පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙන බව සබරගමුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඊයේ පැවැසීය. කිසිවකුටත් බන්ධනාගාරයේ පිටවීම හෝ ඇතුළුවීම නවතා තිබේ.

පසුගිය 14 වැනිදා ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල නිගමනයන් අනුව මෙම පිරිසට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුට කොරෝනා ආසාදිත බවට පසුගිය සතියේදී තහවුරු වීමෙන් පසු රැඳවියන් 50 දෙනකු සහ නිලධාරීන් දෙදෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කරනලද අතර ඒ අනුව ඉන් 14 දෙනකු කොවිඩ් _ 19 ආසාදිත බවට තහවුරු වූ බව සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය.

කොරෝනා ආසාදිත කාන්තා රැඳවියන් පොළොන්නරුව ගල්ලෑල්ල පිහිටි බන්ධනාගාර කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන බවද සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය. කුරුවිට බන්ධනාගාරයේ තවත් රැඳවියන් පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

බූස්ස බන්ධනාගාරයේ නොවැම්බර් මස 14 වැනි දින රැඳවියන් 125 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 25 දෙනකුට කරන ලද පරීක්ෂණවලින් රෝගීන් 44ක් හඳුනාගෙන ඇති අතර බන්ධනාගර නිලධාරීන් කිසිවකුට රෝගය වැලඳී නැතැයි සඳහන් වේ.

ආසාදනයට ලක්වී ඇති රැඳවියන් 44 දෙනා කන්දකාඩු කඳවුරවෙත රැගෙන යෑමටද කටයුතු කර ඇති අතර කඳවුරට ගෙන යන තුරු රෝගීන් වෙන්කර තැබීමටත් නිලධාරීන් 25 දෙනා නිරෝධායනය කිරීමටත් කටයුතු කර තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි පැවැසීය.

මෙම රැඳවියන් මාතර ඇතුළු විවිධ පළාත්වලින් සැකකරුවන් ලෙස නිරෝධායනය කිරීම සඳහා අධිකරණ මඟින් බූස්ස බන්ධනාගාරයේ බන්ධනාගර ගත කොට ඇති රැඳවියන් වන අතර බන්ධනාගාර ගත කළ පසු ඥාතියකුට වුවද මෙම රැඳවියන් නොපෙන්වීමට පියවරගෙන ඇත.

කෙසේ වෙනත් 15 වැනි දිනද රැඳවියන් 200කට පී.සී.ආර්. පරීක්ෂණ කර ඇති අතර නිලධාරීන් 25 දෙනාටද රසායනාගාර පරීක්ෂණ කිරීමට කටයුතු කර තිබේ.