රඹුක්කන වෙඩි තැබීම මිනීමැරුමක් ,ස්වාධීන කමිටුවෙන් අධිකරණ වාර්තාව ටිපෙක්ස් කරලා : පොලිසිය උසාවියේදී පිළිගනියි ! (Video)
ඊයේ රාත්‍රියේ කෑගල්ල උසාවි සංකීර්ණයේ දී රඹුක්කන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධ සිදුවීම අධිකරණය හමුවේ ඉදිරිපත් වුනා. එහිදී අදාළ වෙඩි තැබීම මිනීමැරුමක් බවත් පොලිසිය විසින් පත් කරන ලද ස්වාධින කමිටුව විසින් මෙම සිදුවීමේ නෛතික පසුබිම විකෘති කොට ඇති බවත් හෙළි වුනා.
කෑගලු වෙඩි තැබීමට අදාල නඩුව.
කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝශනයක් අතරතුරදී තරුණයෙකු මිය යාම පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින එනම් 2022.01.20 දින බී වාර්තා දෙකක් මගින් කෑගල්ල ගරු මහේස්ත්‍රාත් වාසනා නවරත්න මැතිනිය වෙත කරුණු වාර්තා කළේය.
ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබින. ඔහු වෙනුවෙන් ජෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් ඇප ලබා ගත්තේය.
අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ ගරු මහේස්ත්රාත්තුමිය විසින් සිදු කෙරිණ. මේ සදහා පොලිස් නිළධාරින් හා සීයයකට අධික නීතීඥවරුන් සහභාගි වූ අතර ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැත්වින. සිද්ධි මාලාවේ විවිධ අවස්ථා ඇසින් දුටුවන් කීප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී ගරු මහේස්ත්රාත්තුමිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලදී.
අදාල ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදු වී තිබූ බව මහේස්ත්‍රාත්තුමියගේ නිරීක්ෂණයට භාජනය විය. විසිරී තිබූ ලේ පැල්ලම්ද, කෝලහාල ස්ථානද, ගින්නට බදුන් වී තිබූ ත්‍රී රෝද රථයද ගරු මහේස්ත්රාත්තුමිය විසින් වැඩිදුර නිරික්ශණයට ලක් කරන ලදී.
ස්ථාන පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව ( නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද- උපරිම දණ්ඩනය වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකි) ගරු මහේස්ත්රාත්තුමිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු ගරු අධිකරණයේ නිරීක්ෂණයට භාජනය විය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල විය. අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය ගරු අධිකරණයෙන් සමාව අයැද සිටින ලද අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු වෙන ලදී.
එසේම මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය
බවත් ය. එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරන ලෙසත් නීතීඥවරු ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අද (2022.04.21) දින කෑගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගැනීමට නියමිත අතර මෙකී සිද්ධිය සම්බන්ධව දන්නා යම් පුද්ගලයෙකු වේ නම් 2022.04.21 දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දක්වා සාක්ෂි ලබා දීමේ අවස්ථාව ලබා කර ගත හැක.
එසේම අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්රවෘත්ති මගින් ප්‍රචාරය වන ලද වීඩියෝ පට වල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ජනමාධ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා සිටියහ.
තවද දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිලිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කල පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කල පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුලත් කරන ලෙසද නීතීඥවරු ඉල්ලූහ.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ස්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල මහත්වරුන් සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී සිටියහ.
ප්‍රදේශයේ පොලිස් ඇදිරි නීතිය පනවා දැඩි ආරක්ශාවක් යොදවා තිබුණු අතර අධිකරණ කරයුතු රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්විණ.
නඩුවේ ඉදිරි දිනය 2022. 04. 21 එනම් අද දින වේ. අද දිනයේදී වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි සටහන් කර ගැනීම හා පෙර දිනයේ ඉල්ලීම් වලට අදාල නියෝග නිකුත් කිරීමට නියමිතය.
නීතීඥ අරවින්ද හබක්කල.
අනුරාධපුර සිට.
අදාළ සිදුවීම පැහැදිලි කරමින් පුබුදු ජයගොඩ මහතා සිය මුහුණු පොතේ තබා තිබු සටහන පහතින්,
අද අධිකරණයට පොලීසිය මුලින් ඉදිරිපත් කළේ AR වාර්තාවක්. ඒ කියන්නේ සිදුවීමක් සිදු වෙලා, සැකකරුවන් නැති අවස්ථාවක දාන වාර්තාවක්. මෙතන මිනීමැරුමක් සිදුවී තිබෙන නිසා මහේස්ත්‍රාත්වරිය AR වාර්තාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඉන් පසුව පොලීසිය කඩිනමින් B වාර්තාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කළා. එහි දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය ගැන සඳහන්ව තිබුණා. ඒ වගන්තිය අදාල වෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට. ඒ කියන්නේ පොලීසියම පවා මෙතන අනියම් මිනීමැරුමක් වූ බව පිලි ගන්නවා. ඒ අතර පොලිස්පතිවරයා විසින් නම්කළ ඊනියා ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිලධාරියෙකු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග අධිකරණයට පැමිණ සිටියා. ඔහු මැදිහත්වී පොලීසිය විසින් අධිකරණයට භාරදුන් වාර්තාවේ 298 වගන්තියට අදාල කොටස tipex කරලා. පසුව මේ ගැන නීතීඥයන් අධිකරණයට දැනුම් දුන්නා. එම නිලධාරියාට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණ ලේඛන මකා දමමින්, විකෘති කරමින් අධිකරණයට අපහාස කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.
මේ අතර රඹුක්කන නගරයේ දී ඊයේ (18) පැවති විරෝධතාවක් අතරතුර සිදුකළ වෙඩි තැබීම ඇතුළු සිද්ධියට අදාළ විමර්ශන සඳහා පොලිස්පතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එළඹෙන 24 වෙනි දින පෙරවරු 11 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිෂන් සභාව නිවේදනයක් මගින් දන්වා තිබේ.
අදාල පරීක්ෂණය සඳහා අධ්යක්ෂවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය අධ්යක්ෂවරයෙක්, නීති නිලධාරියෙක් සහ මානව හිමිකම් නිලධාරියෙක් ඇතුළත් විශේෂ කණ්ඩායමක් මේ වනවිටත් රඹුක්කන ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇතැයි කොමිෂන් සභාව කියයි.
මෙම විරෝධතාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග ලබා දුන්නේ කවුද, කුමණ පසුබිමක් තුළ ද, ඒ සඳහා ජීව උණ්ඩ යොදා ගත්තේ ද යන්න පරීක්ෂා කරන බව එම කොමිෂන් සභාව තවදුරටත් දන්වයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙසේය.