රඹුක්කන ඝාතන සිද්ධියේ සාක්ෂිකරුවන්ට පොලිස් තර්ජන – මහේස්ත්‍රාත්වරිය පොලිසිය ගෙන්වා දැඩිව අවවාද කරයි !

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න විසින් රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධව ඊයේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකුට පොලිසිය විසින් තර්ජනය කිරීම සම්බන්ධව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඒ මොහොතේම දැඩි ලෙස අවවාද කළාය.

කෑගල්ල මහේස්ත්‍රාත්වරිය රඹුක්කන විරෝධතාවේ දී පුද්ගලයින්ට වෙඩි වැදුණු ස්ථාන හා ත්‍රිරෝද රථයකට ගිනි තැබූ ස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී මෙම සාක්ෂි කරුවන්ගෙන් සාක්ෂි ලබාගෙන තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සාක්ෂි ලබාදීමෙන් පසු එක් සාක්ෂිකරුවෙකුට පොලිස් නිලධාරියෙකු තර්ජනය කළ බව ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් යළිත් මහේස්ත්‍රාත්වරියට එම ස්ථානයේදීම කරුණු ඉදිරිපත් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය අදාළ තර්ජනය කළ බව කියන සැකකාර පොලිස් නිලධාරියා එම ස්ථානයට කැඳවන ලෙසට පොලිසියට නියෝග කළාය. අනතුරුව මෙම පොලිස් නිලධාරියා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පෙනී සිටියේය.

එහිදී මෙම තැනැත්තාට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ කිසිම සාක්ෂිකරුවෙකුට බලපෑම් නොකිරීමට වගබලාගත යුතු බවය.

ඉන් අනතුරුව කෑගල්ල රෝහලට ගිය මහේස්ත්‍රාවරිය විරෝධතාව විසුරුවා හැරීමේදී තුවාල ලැබූවන් ද නිරීක්ෂණය කර ඇත.
නඩුව අද දහවල් 12 ට යළි කැඳවීමට නියමිතයි.