කිළිනොච්චි විශ්ව විද්‍යාලයට ගිය ඇමති සුසිල්ට සිසුන් , හූ කියා පන්නා ගනී…
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කිළිනොච්චි මණ්ඩපයේ තවමත් වැඩ අවසන් නොකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට විරෝධය පලකළ විශ්වවිද්‍යාල සිසුන් අමාත්‍යවරයාට හූ කියමින් කෑ කෝ ගසා පළවා හැර තිබේ.
සිසුන් අමාත්‍යවරයාට විශ්ව විද්‍යාලය තුළට පැමිණීමට ඉඩ ලබා දී නොමැත.
කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ තවමත් වැඩ අවසන් නොවූ තාක්ෂණ පීඨයේ ගොඩනැගිල්ල විවෘත කිරීමට අමාත්‍යවරයා පැමිණි අතර විරෝධතාවයේ නිරත සිසුන් පවසා ඇත්තේ කාර්ය නිම නොවූ ගොඩනැගිල්ලක් දේශපාලන අවශ්‍යතාවයන් මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
අමාත්‍යවරයා විශ්ව විද්‍යාල භූමියට පැමිණීමට පෙර සිට විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතාවය දියත් කොට තිබුණේ අමාත්‍යවරයා පැමිණෙන බවට ඔවුන්ට කල්තියා තොරතුරු ලැබීම හේතුවෙනි.
කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුන් විසින් ආරම්භ කරන ලද මෙම විරෝධතාවයට ස්වල්ප වේලාවකදී සෙසු පීඨ වලද සහයෝගය ලැබී තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් අමාත්‍යවරයාට එරෙහිව විරෝධය පලකිරීම නිසා අමාත්‍යවරයා ආපසු ගොස් ඇති අතර අමාත්‍යවරයාට ආරක්ෂාව සපයන නිලධාරීන් ඔහුට ආරක්ෂාව සපයා දීමට කටයුතු කරන විටද විශ්ව විද්‍යාල සිසුන් හූ කියමින් කෑ කෝ ගසා ඇත.
විරෝධතාවය වැළැක්වීමට බලධාරීන් කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් ලවා ගේට්ටු වසා දැමීමෙන් පසුව සිසුන් ගේට්ටුවෙන් එළියට පැමිණ ගේට්ටුව ඉදිරි පිට විරෝධතාවය දක්වා සිටියහ.