බය වෙන්න එපා… හමුදාවෙ පොලිසියේ සියයට 98ක් අරගලය එක්ක : සරත් ෆොන්සේකා Video

පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේය.

ඔහු මේ බව කීවෙ අද (16) හයිඩ් පිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම රැළියට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායකයා වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස් පිල නියෝජනය කරන නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් ද ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයින්, බහුජන ව්‍යාපාර නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ගණනාවක් ද එක් වී සිටියහ.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග සහිතව රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ, අන්තර්විශ්විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත ගුණතිලක තිදෙනාගෙන් ද අවසර ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේ පක්ෂ පාට භේද නැතිව ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් එක් විය යුතු කාලය එළඹ ඇති බවය.

පක්ෂයට ලද ආරාධනයක් ලෙස මෙතැනට පැමිණියත් මේ තමන් මේ ජන හමුව අමතන්නේ නිර්පාක්ෂික පුරවැසියෙක් ලෙස බව ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.

ජන හමුව අමතමින් සරත් ෆොන්සේකා මෙසේ ද පැවසීය.

“රට වෙනුවෙන් දැක්මක් සහිත උන් පාර්ලාමේන්තුවෙ නෑ. ඔබ ඉල්ලන වෙනස ඔය පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න යම් චින්තනයක් බුද්ධියක් තියන අය එය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා තමයි යම් වසන්ත බණ්ඩාර වැනි මන්ත්‍රීවරු අද මෙතන ඉන්නේ. “

“මේ අරගලය මාර්තු මාසයෙ පටන් ගත්තු දවසෙ ඉඳලා මා ඊට ආශීර්වාද කළා. ඉදිරියටත් කරනවා. ඒක මම කළේ පාට පක්ෂ භේදයක් නැතිව.“

“අරගලය කඩා වැටුනේ අරගලයට නායකයෙක් හිටිය නැති නිසා නෙමෙයි. අරගයට අඩිතාලමක් තිබුණේ නෑ. අනිවාර්යයෙන් ඉදියේ දි මේ අරගලයට වෛද්‍යවරු උගත්තු නීතිඥවරු ව්‍යවසායකයින් ඇතුලු සියලු දෙනාම එකතුවෙලා අඩිතාලමක් දාන්න ඕන. එහෙම කළොත් අරගලයේ දරුවන්ට ඉස්සරහට යන්න පුලුවන්. ගෙදරක දෙමව්පියො වගේ මේ අරගලය පසුපස වැඩිහිටියො හිටගන්න ඕන. එහෙම උනොත් මේ අරගලය දිනනවා.“

“පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් ඉන්න පොලිසියෙ සුළුතරය් මූණු අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“

“කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. “

“මේ ජයග්‍රහණය කරන්න අපි පාට පක්ෂ භේදයකින් තොරව එකතු වෙනවා. එතන පෙරටුගැමීනුත් ඉන්න ඕන. අන්තරෙත් ඉන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න ඕන. රටේ සියලු දෙනා මේ විප්ලවයෙදි පක්ෂ න්‍යාය පත්‍ර අමතක කරලා ජාතික න්‍යාය පත්‍රයකට කැප වෙන්න.“

“ලේ දහදියට බය වෙන්න එපා. හිර ගෙවල්වලට බය වෙන්න එපා. අවුරුදු දෙකයි ඔක්කොම සෙල්ලම් දාන්න පලුුවන්. තමුන්නාසෙලා එක්ක අපි ඉන්නවා. “