අපිට භාර දුන්නේ ෆේල් කරපු රටක් – අගමැති
2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පැවැසීය.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව 2025 වනවිට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාවට ඉන් ප්රතිලාභ හිමි වන අතර ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන තිස් දෙදහස් හත්සියයකි.
නව ජල සබඳතා එක්ලක්ෂ විසි දහසකට වැඩි ගණනක් මෙමගින් ලබාදීමට නියමිතය. ග්‍රාම නිලධාරි වසම් 320ක දා හත් ලක්ෂ පනස් දහසකට වැඩි පිිරිසකට මෙමගින් සෙත සැලසෙයි.
” 2015 දි අපි භාරදීපු රටට වඩා දුර්වල කරපු, විනාශ කරපු, ආරක්ෂාව අහිමි කරපු රටක් 2020 දී අපට භාරදුන්නා කියලා කියන්නේ ඒ නිසායි. පේල් (Fail) කරපු රටක් අපිට භාර දුන්නේ. නමුත් මිත්‍රවරුනි, 2015 අපි දිගටම මේ රට කරගෙන ගියා නම් 2020 දී බොහෝ ඉලක්ක සම්පුර්ණ කළ රටක් මේ වෙනකොට ගොඩනගා අවසන් බව මම කියන්න ඕනෑ.
අපිට දැන් දෙපැත්තක වගකීමක් ඉතිරිවෙලා තියෙනවා. එකක් තමයි 2015න් පස්සේ බිඳදාපු ට ආයේ ගොඩනඟන එක. අනෙක් අර්බුදය තමයි ලෝකෙටම මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන කොවිඩ් -19 අර්බුදයට මුහුණදෙමින් මේ රට ඉදිරියට ගෙනයන එක.
කොවිඩ් -19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්දෙන් වෙච්ච හානියටත් වඩා බරපතළයි. මේ රටට ලොකුම ආදායම ගෙනාවේ විදේශගත ශ්‍රමිකයන්. ඒ අයගෙන් මාසිකව ලැබුණු ආදායම නතර වුණා විතරක් නෙවෙයි, ඒ අයව ලංකාවට ගෙන්න ගන්නත් සිද්ධ වෙලා. ලක්ෂ ගණනක් ජීවත්වුණ, සංචාරක ව්‍යාපාරය අඩපණවෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය එක සතියකදි ආපස්සට කැරකුණා. ධීවර කර්මාන්තය එක රැයින් බිඳවැටුණා. ප්‍රවාහන සේවාව බිඳවැටිලා ඒවායින් ජීවත් වුණ දහස් ගණන් ජනතාව අසරණ වෙලා. පේමන්ට් එකේ බඩු විකුණන වෙළෙන්ඳාගේ ඉඳන් සුපිරි වෙළෙඳසැල දක්වා කඩාවැටුණා.
එහෙම තියෙන රටක අපි වසරකට ඩොලර් බිලියනයක් ණය ගෙවන්න ඕනේ. විපක්ෂය හිතුවා පසුගිය අගෝස්තුවේ අපිට ඒ ඩොලර් බිලියනයේ ණය ගෙවන්න බැරි වෙයි කියලා. අපි රජයේ වියදම් අවම කරන ආනයනය කරන අනවශ්‍ය දේ නතර කළ නිසා අපි ඒ ණය ගෙව්වා. ඒගොල්ලො ඔට්ටු ඇල්ලුවා මේ ඩොලර් බිලියනය ආණ්ඩුවට ගෙවන්න බැරිවෙයි කියලා. නමුත් මේ සියලු ආදායම් අහිමිවීම් යටතේ ඒ ඩොලර් බිලියනයක ණය වාරිකය අපි කලට වේලාවට ගෙව්වා.
විදේශගත ශ්‍රමිකයන්ගෙ ආදායම් නැතිවුණත්, සංචාරක කර්මාන්තයේ ඉඳන් ධීවර කර්මාන්තයේ ඉඳන් ප්‍රවාහනය ආදියෙන් දෛනිකව සියලු ආදායම් අහිමිවෙලා තිබුණත්, අපිට දවසකට PCR පරීක්ෂණ දහස් ගණනක් කරන්න මිලියන සිය ගණනක් වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. වෙන රටවල වගේ දහස් ගණනක් රෝගීන් මැරෙන්න නොදී බේරගන්න සිදුවෙලා තියෙනවා. දහස් ගණන් නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තිබුණ සියලු ව්‍යාපාරවලට සහන දෙන්න සිද්ධවෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15කට නියමිත වේලාවට පඩි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව ජංගම දුරකථනෙටත් අයකෙරුව 25% බද්දේ ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13ක් අතඇරලා, භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන සියලු ආදායම් අතඇරලා තමයි අපිට මේ තරම් සහන දෙන්න සිද්ධවෙලා තියෙන්නේ.
අපි එහෙම වුණත් අතීතයට දොස් කියකියා අඬඅඬා ඉන්නේ නැහැ. අපි ගෙවුණ අවුරුද්ද තුළ අපේ සතුරන් දිහා බැලුවේ නෑ. අපි බැලුවේ අපේ ශක්තිය දිහා. අපේ ධෛර්යය දිහා.
කොඩිඩ් -19 වසංගතය ඉවර කරන ගමන්ම, අපි රට සියලු අංශවලින් ගොඩයන්න ඕන සියලු පියවර අරගෙන තියෙනවා. ඉරටුවත් මෙරටට පිටරටින් ගෙනාවා. සරුංගලයත් පිටරටින් ගෙනාවා. කොහු ඉදලුත් පිටරටින් ගෙනාවා. අපි අද ඒ සියල්ල නතර කළා. මැටි වළඳේ ඉඳන්, කහ පඳුරේ ඉඳන් ටයරය දක්වා අපේ රටේම හදාගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරලා ඉවරයි.
මේ රටේ ජනතාව අසමත් ජාතියක් කියලයි විරුද්ධ පක්ෂය හැමදාම හිතාගෙන හිටියේ. මේ රටේ ජනතාව පේල් කියලා හිතාගෙන තමයි රටේ හැම දෙයක්ම පිටින් ගෙනාවේ. හැම ආයතනයක්ම විකුණා දැම්මේ රට පේල් කියලා හිතාගෙන. නමුත් අපි අපේ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනිහින් යහපාලනය පේල් කරපු මේ රටේ ජනතාව සමතුන් බවට පත් කරනවා. අපේ රටට විශිෂ්ට සාමාර්ථය අරන් දෙනවා. ගෙවුණ අවුරුද්ද තුළ මොනතරම් දුෂ්කරතා තිබුණත් රැකියා ලක්ෂයක් දෙන වැඩපිළිවෙළක් අපි හැදුවා. ඒ යටතේ 34,000කට දැනටමත් රස්සාවල් දීලා තියෙනවා. රැකියා විරහිත උපාධිධාරින් 60,000කට ආණ්ඩුවේ රස්සා දෙන්න අපි වැඩකරගෙන ගියා.
මට මතකයි 2005දි අපි බලයට ආපු අලුත අපේ පළවෙනි අවුරුද්ද ගෙවිලා ගියේ බොහොම ඉවසීමෙන්. අවුරුදු 05 තුළ රටක් නිදහස් කරගන්න ඕනෙ වැඩපිළිවෙළ සැලසුම් කළේ පළවෙනි අවුරුද්ද තුළ. ඒකම තමයි මේ ගෙවුණ වසර තුළත් අපි කළේ. අපි 2005ට වඩා ඉතා බිහිසුණු තත්ත්වයකට මුහුණදීලා තියෙනවා. ඒත් රටක් හැටියට ගන්න පුළුවන් ඉතාම නිවැරදි තීන්දුව අපි දැන් අරගෙන තියෙනවා.
මොන දුෂ්කරතා තිබුණත් අපි කිසිවෙකුට යට නොවෙන රටක් හදන්න නිර්භීතව පියවර ගණනාවක් ඉදිරියට තියලා තියෙනවා. අපි රණවිරුවන්ව දංගෙඩියට දක්කන්න, රටට ද්‍රෝහී බලවේග ගෙනාපු මානව හිමිකම් යෝජනාවෙන් ඉවත් වුණා. කොයිතරම් දුෂ්කර වුණත් රට පාවාදෙන්නේ හෝ දණ නමන්නේ නැති මිනිසුන් හැටියටයි අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි ඉතා නිවැරදි තීන්දු අරගෙන මේ වසර තුළ අපි ඉදිරියට යනවා.
අපි ගෙවල් 14,000ක් හදන “ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩපිළිවෙළත් අපි ඉදිරියට ගෙනයනවා. ඒ විතරක් නෙමෙයි නිවාස 100ක් තියෙන මහල් නිවාස සංකීර්ණයක්ගානේ හැම ආසනයක් ගානෙම හදනවා. මේවා අපි 2015 ත් කරන්න මුදල් වියදම් කළ වැඩ.
ඒවා හදන්නේ ගිය ආණ්ඩුව හැදුවා වගේ කැලේ නෙමෙයි. රෝහල්, පාසල්, වෙළෙඳසැල් සියල්ල තියෙන පරිසරයක තමයි ඒවා හදන්නේ. ඒවා හදන්නේ ඒ නිවාස ගන්න මිනිස්සුන්ව ණයකාරයෝ කරන්නත් නෙමෙයි.
තව අපි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. අපි මේවා කරන්නේ සාර දර්ශනයක පිහිටලා.”