දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මොළය මිය ගොස් : වෛද්‍ය වාර්තා තහවුරු කරයි…

ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මොළය මිය ගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවල සඳහන් වූයේ ෂාෆ්ටර් රෝහලට ගෙන යන අතරමගදීත් අවසන් හුස්ම හෙළමින් සිටි බවය.

වෛද්‍ය වාර්තාවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් රෝහලට රැගෙන ආ විගස ඔහුගේ හදවත පණ ගැන්වීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගත් නමුත් එම උත්සාහයන් අසාර්ථක වී ඇත. ඉන් අනතුරුව එදින රාත්‍රියේ දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇති බවට තීන්දු කෙරුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් පමණක් බවය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අධිකරණ වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුගේ නිවසේ තිබී ඔහුගේ ගෙල සිරකර ඝාතනය කිරීමට යොදාගත් වයර් වර්ගයට සමාන වයරයක් සහ ඔහුගේ දෑත් බැඳීමට යොදාගත් ආකාරයේ “සිප් ටයි“ කිහිපයක්ද සොයාගෙන තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මතය විමසා තිබූ බව වාර්තා වන්නේ මෙවැනි පසුබිමකදීය.

කෙසේ වෙතත් එම ස්ථානයේ තිබූ අධිකරණ වෛද්‍ය සාක්‍ෂි විනාශ වී ඇති බැවින් දිනේෂ් ෂාෆ්ටර් ගෙල සිරකර මරා දැමුවේද නැතහොත් ඔහු සියදිවි නසා ගත්තේද යන්න විද්‍යාත්මකව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරීන් සඳහන් කර ඇත.

වාර්තා වන අන්දමට ෂාෆ්ටර්ගේ එක් ආයතනයක අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂ් පෙරේරා විසින් පොදු සුසාන භූමියේ සිට කොළඹ රෝහල වෙත ෂාෆ්ටර් රැගෙන ගොස් ඇත. එබැවින් එම ස්ථානයේ තිබූ සාක්ෂි විනාශ වී ඇති හෙයින් දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කළේද, එසේත් නැතිනම් එය සියදිවි නසාගැනීමක් ද යන්න විද්‍යාත්මකව තීරණය කිරීම දුෂ්කර වී තිබේ.

මෝටර් රථයේ ඉදිරිපස අසුනට දිනේෂ් ෂාෆ්ටර් ගෙල සිර කිරීමට යොදාගත් වයරය පිටුපස අසුනේ තිබී හමුවී ඇත.

යම් පුද්ගලයකුගේ ගෙල දිගින් දිගටම එලෙස වයරකින් තද කළහොත් මොළයට රුධිර ගමනාගමනය අවහිරවන බව විශේෂඥ වෛද්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

දිනේෂ් ෂාෆ්ටර් මිය යාමට ටික වෙලාවකට පෙර බොරැල්ල මලලසේකර මාවතේ පිහිටි අවන්හලකින් කෙටි ආහාරයක් මිලදි ගෙන තිබූ බව පොලිසිය පවසයි. පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එම ආහාර වේලෙහි අන්තර්ගතය අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් වන්නේ එදින නිවසින් පිටව ගොස් විනාඩි 30ත් 40ත් අතර කාලයකදී දිනේෂ් ෂාෆ්ටර් මොළය මිය ගිය තත්ත්වයකට පත්ව ඇති බවයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය බොරැල්ල පොලිසියට පවසා ඇත්තේ තම සැමියා දහවල් 1.55 ට නිවසින් පිටව ගිය බවය.
එම වේලාව නිවැරදි නම් වෛද්‍ය වාර්තාවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් මිය ගොස් ඇත්තේ පස්වරු 2.35 ය.

කෙසේ වෙතත්, හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හෙළි කළේ තමාට දිනේෂ් ෂාෆ්ටර්ගෙන් WhatsApp පණිවිඩයක් ලැබුණේ පස්වරු 2.42 ත් 2.43 ත් අතර බවය.

මෙමගින් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳව සැක මතු වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍යය පවසා ඇත්තේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් ලෙස රහස් පරීක්ෂකයින් විසින් විමර්ශනය කරන අතර විවිධ ඉඟි ලුහුබඳින බවය.

කෙසේ වෙතත්, රහස් පරීක්ෂකයින් තවමත් සැකකරුවෙකු නම් කර නොමැත.