ආණ්ඩුවලට 3 හොඳ ලකුණක් නොවේ.

1953 හර්තාලය! 1973 ඩඩ්ලි මරණය! 1983 කළු ජූලිය! 1993 ප්‍රේමදාස-ලලිත් ඝාතනය! 2003 රනිල්ගේ ආණ්ඩුවේ වැටීම! 2023?

‘3’ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ එතරම් හොඳ ලකුණක් නොවේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකු පෙරළි සිදුවී ඇත්තේ අගට තුනේ ඉලක්කම එන වර්ෂයෙනි. මේ පෙරළිය පටන් ගත්තේ 1953නි. ලංකාවේ ලොකුම හර්තාලය පටන්ගත්තේ 1953දීය. හර්තාලය එන විට අගමැති ධුරයේ සිටියේ ඩඩ්ලි සේනානායකය. ඩී.ඇස්. සේනානායක මියගියාට පසු අගමැති ධුරයට යූ.ඇන්.පී. ආණ්ඩුව තුළ බෙදීමක් ඇතිවිය. ඩී.ඇස්.ගේ පුත් ඩඩ්ලි සහ සර් ජෝන් අතර අගමැති දුරයට ගැටුමක් ඇතිවිය. එතැනදී ජේ.ආර්. මැදිහත් වී ඩඩ්ලිට අගමැති ධුරය අරන් දුන්නේය. ඒත් ඩඩ්ලි අගමැතිකම කළේ සර් ජෝන්ගේ කෙනෙහිලිකම් මධ්‍යයේය. හර්තාලය මර්දනය කරන්න පොලිසිය යෙදවූ අතර එක් අයකුට වෙඩි වැදිණි. ඩඩ්ලි වහාම ඝාතනයේ වගකීම භාරගනිමින් අගමැති ධුරයෙන් ඉවත් විය. සර් ජෝන් අගමැති විය. සර් ජෝන් අගමැති වී යූ.ඇන්.පී.යත් ආණ්ඩුවත් මහජනතාව අතර අප්‍රසාදයට පත් කළේය. 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අතිවිශිෂ්ට ජයක් ලැබුවේ 1953 හර්තාලයත් ඩඩ්ලි ඉවත් වී සර් ජෝන් අගමැති වීමත් නිසාය.

1963දීත් අරුම පුදුම දෙයක් විය. එනම් සමාජවාදී ආණ්ඩුවක් හදනවා කී ලංකා සමසමාජ පක්ෂය පළමු වරට ආණ්ඩුවකට එක්වී ඇමැති ධුර භාරගැනීමය. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එක්වූ ඇන්.ඇම්.ලා සහ කොල්වින්ලා ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු වූහ. 1964 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව වට්ටවමින් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වූ සී.පී. ද සිල්වා යූ.ඇන්.පී.යට එක්වූයේ මැතිනියගේ හවුල් ආණ්ඩුව නිසාය.

1973දී රට වෙනස් කළ සිදුවීමක් සිදුවිය. එනම් යූ.ඇන්.පී. නායක ඩඩ්ලි සේනානායක මියයෑමය. ඔහු මියයන්න පෙර ඔහු සහ විපක්ෂ නායක ජේ.ආර්. අතර දරුණු බෙදීමක් ඇතිවිය. ජේ.ආර්.ට එරෙහිව ක්‍රියා කරන්න යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට තිබිණි. එහෙත් පසුව ජාඇල යූ.ඇන්.පී. සංවිධායක පාරිස් පෙරේරාගේ නිවෙසේදී ජේ.ආර්. සහ ඩඩ්ලි හමුවී ගැටුම සමථයකට පත්කර ගනු ලැබීය. ඩඩ්ලි මියගියේ ඉන් පසුවය. ඔහුගේ අවමඟුලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ආහ. එය කොළඹට ආ වැඩිම සෙනඟ ලෙස වර්තා පිහිටුවීය. අවමඟුල නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට අවසර ඉල්ලා සිටියත් මැතිනියගේ ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැත. මේ නිසාම මැතිනියට රට පුරා ලොකු විරෝධයක් ඇතිවිය. ජේ.ආර්.ගේත්, යූ.ඇන්.පී.යේත්, රටේත් දේශපාලනය වෙනස් වූයේ 1973 සිදුවූ ඩඩ්ලිගේ මරණයෙන්ය.

1983 භයානකම වසරක් විය. ලංකාවම දශක තුනකට ආසන්න යුද්ධයකට මැදි කළ ශාපලත් යුද්ධය පටන් ගත්තේ 1983දීය. එය හැඳින්වූයේ කළු ජූලිය ලෙසය. උතුරෙන් ප්‍රභාකරනුත්, දකුණෙන් විජේවීරත් හිස ඔසවන්නේ ඒ කළු ජූලිය නිසාය. ජේ.ආර්.ගේ ආණ්ඩුව කළු ජූලිය ජ.වි.පෙ. මත පටවා ජ.වි.පෙ. තහනම් කරනු ලැබීය. 83 රටම ගිනිබත් වූවා පමණක් නොව ජාත්‍යන්තරයෙන් ලංකාව කොන් විය.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාසට රටේ රාජ්‍ය නායකත්වයට යන පාර කැපුණේත් 1983න්ය. 1983 කළු ජූලිය නිසා උතුරේ ඇති වූ යුද්ධයත්, ජ.වි.පෙ. තහනම් කළ නිසා දකණේ ඇතිවූ භීෂණයත් නිසා ජේ.ආර්. තෙවැනි වරටත් ජනාධිපති ධුරයට තරග කරන අදහස අතහැර ප්‍රේමදාසට අපේක්ෂකත්වය දුන්නේය.

ඊළඟට එන්නේ 1993ය. 1993 වසර 53, 63, 73, 83 මෙන් නොව ලංකාවට භයානකම වසරක් විය. රටේ රාජ්‍ය නායකයා වූ ප්‍රේමදාස ඝාතනය වූයේ 1993දීය. මීට පෙර එවැනි ඝාතනයක් සිදුවූයේ 1959දීය. ඒ, බණ්ඩාරනායක ඝාතනයය. ඉන් පසු පළමු වරට රාජ්‍ය නායක ඝාතනයක් සිදුවූයේ 1993දීය. එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝමබකාරයෙක් ප්‍රේමදාස ඝාතනය කළේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කොට හරියටම සතියකට පසුවය. ලලිත්ව ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ. තුවක්කුකාරයෙකි. ප්‍රභාකරන්ට ඕනෑ වුණේ පළමුව ලලිත්ව ඝාතනය කොට ඒ ඝාතනයේ වගකීම ප්‍රේමදාස මත පටවා ප්‍රේමදාසව ඝාතනය කිරීමටය. ලලිත්ව ඝාතනය කළ විට එවක විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය සහ ලලිත්-ගාමිණී පක්ෂය ඝාතනය ප්‍රේමදාස පිට පටවා ලලිත්ගේ අවමඟුල ප්‍රේමදාස විරෝධී ජන රැල්ලක් බවට පත් කළහ. හැමෝම මවිතයට පත් කරමින් ප්‍රේමදාස මහ මඟදී ඝාතනයට ලක් විය. ලලිත් සහ ප්‍රේමදාස ඝාතනය මුළු රටටම ෂොක් එකක් විය. අවසානයේ මේ ඝාතනය පාර කැපුවේ කොහේවත් සිටි චන්ද්‍රිකාට බලය අරන් දෙන්නටය. ලලිත් සහ ප්‍රේමදාස ඝාතනය වූ විට ජනාධිපති ධුරයට පත් විජේතුංග හිතුවේ තමාගේ හිස මතට ශ්‍රේෂ්ඨත්වය කඩාගෙන වැටුණා කියාය. අගමැති වූ රනිල් හිතුවේ තමා ජනාධිපති වෙන්න ඔන්න මෙන්න කියාය. ගාමිණී හිතුවේ තමා 1988දීත් හීන මවපු ජනාධිපති ධුරය තම දෙපතුළ ළඟටම ආවා කියාය. ශ්‍රීලනිපයේ අනුර හිතුවේ තමාට ජනාධිපති වෙන්න පාර කැපුණා කියාය. ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය හිතුවේ මියයෑමට පෙර තමාට ජනාධිපති පුටුවෙ වාඩිවෙන්න වාසනාව තියෙනවා කියාය. ඒත් අන්තිමේදී ජනාධිපති වූයේ චන්ද්‍රිකාය.

53, 63, 73, 83, 93 වගේම 2003ත් ලංකාවේ ලොකු පෙරළියක් කළ වසරකි. 2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටිණි. රනිල්, චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ සිටියදී ආණ්ඩුවක් පිහිටුවීය. අගමැති වූ වහාම රනිල් එල්.ටී.ටී.ඊ.ය සමග සාම සාකච්ඡා ආරම්භ කළේය. එහෙත් ලංකාව පමණක් නොව ජාත්‍යන්තරයත් මවිතයට පත් කරවමින් එල්.ටී.ටී.ඊ.ය 2003 අප්‍රේල් සාම සාකච්ඡා මේසයෙන් ඉවත් විය. ඉවසුවා ඇති කියා චන්ද්‍රිකා සහ ශ්‍රීලනිපය මහා ජන ගඟක් කොළඹට ගෙන එනු ලැබීය. 2003 නොවැම්බරයේ රනිල් ඇමෙරිකාවේ ගොස් සිටියදී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරාගත්තේය. රනිල්ගේ ආණ්ඩුව හොම්බෙන් ඇදගෙන වැටිණි. චන්ද්‍රිකා ජ.වි.පෙ. සමග සන්ධානගත වෙන්න තීරණාත්මක සාකච්ඡා පැවැත්වූයේද 2003 අගය. එක්සත් ජනතා නිදහස් සන්ධානය කරළියට ආවේ එහි ප්‍රතිඵලයක් ලෙසය. චන්ද්‍රිකා මේ සන්ධානය හැදුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කොට හෝ විධායක අගමැති වී තවත් වසර 6ක් රට පාලනය කරන්නටය. ජ.වි.පෙ. මේ සන්ධානයට ගියේ තමන්ට අවශ්‍ය නායකයෙක් ජනාධිපති කරගෙන ඔහුව රූකඩයක් කර නටවන්නටය. මේ දෙකම වුණේ නැත. චන්ද්‍රිකා 2003 අමාත්‍යාංශ පවරාගෙන සන්ධානය හැදීමෙන් සිදුවූයේ චන්ද්‍රිකාගේත්, ජ.වි.පෙ.ත් පරම හතුරා වූ මහින්ද අගමැති වී ජනාධිපති වීමය. අවසානයේ මහින්දව ජනාධිපති කරන සටනට නායකත්වය දුන්නේ ජ.වි.පෙ.ය.
ඊළඟට එන්නේ 2013ය. 2013ත් අමතක කරන්න පුළුවන් වසරක් නොවේ. ජනාධිපති මහින්ද අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව දෝෂාභියෝගයකින් ඉවත් කළේ 2013 ජනවාරියේය. මේ වෙනකොටත් මහින්දගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයක් නොවීය. ශිරාණිට එරෙහි දෝෂාභියෝගයෙන් නීතිඥවරු රට පුරා රාජපක්ෂ විරෝධය දියත් කළහ. සෝභිත හිමි එයට නායකත්වය දුන්හ. ලංකාවේ සිවිල් සංවිධාන බිහිවී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එළියට බහින්නේත් පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතිකාවක් ආරම්භ වන්නේත් 2013 ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයෙන්ය.

දැන් ඇවිත් තියෙන්නේ 2023ය.

‘2023 මොනවා වෙයිද…?’

කියන්න දන්නේ නැත. තුන කියන්නේ නායකයන්ට මාරක වසරකි. දේශපාලනයේ පෙරළිකාර වසරකි. රටට අලුත් රාජ්‍ය නායකයන් බිහිකරන වසරකි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ බිහිවුණේ තුනෙන් අවසන් වන වසරේ පෙරළියකිනි.

‘ඒ කියන්නේ 2023 රටට අලුත් රාජ්‍ය නායකයෙක්, අලුත් ආණ්ඩුවක් හිමි වෙයිද…?’

උපුල් ජෝශප් ප්‍රනාන්දු