මන්ත්රීකමත් අතහැරලා එජාප බලකොටුව හොල්ලන්න යන මුජිබර්
මෙරට පළාත් පාලන ආයතන අතර කොළඹ නගර සභාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. කොළඹ පුරපති ධුරය හෙවත් කොළඹ නගරාධිපතිකම තීරණාත්මක තනතුරක් වනවා මෙන්ම, ඒ හරහා මෙරට දේශපාලනය තුළ ඉහළ කිරුළට ගිය චරිතද බොහෝය. එබැවින් කොළඹ නගර සභාව ඉතා සුවිශේෂ තැනකලා සැලකේ. පළාත් පාලන මැතිවරණ ඉතිහාසය තුළ කොළඹ නගර සභාවේ භූමිකාව තීරණාත්මක වන්නේ මෙරට පාලන තන්ත්රය තුළ එහි පුරපතිවරයාට හිමිවන ප්‍රමුඛතම සුවිශේෂත්වය නිසාය. එය මෙවර වඩාත් කතාබහට ලක්ව ඇත්තේ කොළඹ නගර සභාවට තරගවදින පුරපති අපේක්ෂකයා කවුද යන කාරණාව මතය.
සාමාන්‍යයෙන් එදාමෙදාතුර කොළඹ නගර සභාවේ පුරපති ධුරය වැඩිම වාර ගණනකට හිමිකම් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයය. කොටින්ම කිවහොත් කොළඹ නගර සභාව යනු එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත්වූ අවස්ථාවකදී පවා එයින් ගිලිහී නොගිය බළකොටුවකි. මෙවර එය කුමක් වේවිද?
එක් අතකින් මෙවර මැතිවරණය තුළ කොළඹ නගර සභාවේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට විශේෂය. පොදුජන පෙරමුණටත් විශේෂය. හැබැයි ඒ දෙගොල්ලොම එකට තරග කරන නිසා දෙගොල්ලොන්ටම එය විශේෂය. ජනතා විමුක්ති පෙරමුණට නම් එහි එතරම් විශේෂයක් නැත. අනෙක් සුවිශේෂ වැදගත්කම ඇත්තේ සමගි ජන බලවේගයටය.
විහාර මහාදේවි උද්‍යානයේ (වික්ටෝරිය පාක්) බුදුරුව ඉදිරිපිට ඇමෙරිකාවේ ධවල මන්දිරය මෙන් දිස්වන කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල 1928 අගෝස්තු මස 08 දින විවෘත කර ඇත. එය ඇත්තටම ධවල මන්දිරය මෙන්ය. කොළඹ නගර සභාවේ බලය පෙන්වන කණ්ඩායම සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට පුරපතිවරයකු පත් කරන්නේ ‘කොළඹ ජනාධිපති’ වගේය. මෙතරම් සුවිශේෂ බවක් දන්නා කොළඹ නගර සභා මැතිවරණයට සමගි ජන බලවේගය තීරණාත්මක මැදිහත්වීමක් සිදුකොට තිබේ.
ඒ තීරණාත්මක මැදිහත්වීම සිදුකරන්නේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයෙ ප්‍රබල චරිතයක් වන මුජිබර් රහුමාන් පුරපති තනතුරට ඉදිරිපත් කරමිනි. මුජිබර් රහුමාන් යනු කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ තරුවකි. විශේෂයෙන්ම හෙතෙම පාර්ලිමේන්තුවේ සිටින අතිදක්ෂ කථිකයෙකි. මැදකොළඹ කේන්ද්‍රගත කරගනිමින් ඇරැඹි ඔහුගේ දේශපාලන ගමන ඉතා වේගයෙන් පාර්ලිමේන්තුව දක්වාම පැමිණියේය.
මුජිබර් රහුමාන් 1991 දී සිය දේශපාලනය ආරම්භ කරන්නේ ‘ප්රගතිශීලී මුස්ලිම් පෙරමුණ’ ගොඩනඟමිනි. එහිදී ඔහු එජාපයේ ලලිත් – ගාමිණී පාර්ශ්වයේ අරගලයට සහාය පළකරමින් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකරනු ලැබීය. අනතුරුව 1994දී නව සමසමාජ පක්ෂයට එක්වූ මුජිබර් රහුමාන්, 1996 දී ‘මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ’ පිහිටුවනු ලැබීය. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් වූ එම පක්ෂය 1999 ජනාධිපතිවරණයේදී සහාය පළකළේ ජවිපෙ අපේක්ෂකයා වූ නන්දන ගුණතිලකටය. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට ගිය ඔහු යළි මෙරටට පැමිණීමෙන් පසු 2005 දී එජාපයට එක්විය. 2006 පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරග කිරීමට ඔහු නාමයෝජනා ලබාදී තිබුණද එජාප නාමයෝජනා පත්‍රය අවලංගු වීම නිසා ඔහුට නගර සභාවට තේරී පත්වීමට තිබූ අවස්ථාව අහිමි විය. කෙසේ වුවද 2009දී හා 2014 එජාපයෙන් බස්නාහිර පළාත් සභාවට තේරීපත් වූ මුජිබර් පළමු වරට එජාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2015 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙනි. 2020 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත්වූයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙසය.
සටන්කාමී චරිතයක් ලෙස පෙරට පැමිණි මුජිබර් රහුමාන් විශේෂයෙන්ම සමගි ජන බලවේගය සංවිධාන කරන ලද බොහෝ අරගලවලදීත්, වීදි සටන් වැනි විරෝධතාවලදීත් ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ ක්‍රියාශීලී මන්ත්‍රීවරයකු විය.
කොළඹ මහනගර සභාවෙන් දේශපාලනයේ ‘අ’ යන්න කියා එහි දේශපාලනය තුළින් මෙරට ජාතික දේශපාලන නායකයන් බොහෝ දෙනෙක් බිහිකර ඇත. ඉන් හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ජනාධිපති ආර්. ප්‍රේමදාස සුවිශේෂ වන අතර, ඔවුන් තිදෙනාම රටේ ජාතික දේශපාලනයේ ඉහළම තනතුරු දරනු ලැබීය.
එපමණක් නොව නගරාධිපතිවරු වශයෙන් පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු හෙබවූ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ, ආචාර්ය එන්.එම්. පෙරේරා, වී.ඒ. සුගතදාස, එම්.එච්. මොහොමඩ් විල්සන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි ජබිර්, ඒ. කාදර්, බී. සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසුරිය හා ඕමාර් කාමිල් යන අය නගරාධිපති ධුරය දරා ඇති අතර දොස්තර ඩැනිස්ටර් ද සිල්වා (දඩි බිඩි) එම්.ජී. මැන්දිස්, විවියන් ගුණවර්ධනද කොළඹ මහනගර සභාවෙන් රටට දායාද කළ සුවිශේෂ ජන නායකයන්ය.
තවද 1952 ජනවාරි 17 දින කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයටත් ප්‍රථම ජනාධිපති ධුරයටත් පත්වීම කොළඹ නගර සභා ඉතිහාසයට එක්වූ සුවිශේෂ සිදුවීමක් ලෙස සටහන් වී ඇත.
සාමාන්‍යයෙන් කොළඹ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවීම තීරණාත්මක සාධකයක් වී තිබූ අතර විශේෂයෙන් මහින්ද රාජපක්ෂ යුගයේදී එහි බලය තමන් වෙත නතුකර ගැනීම වෙනුවෙන් බලවත් ප්රයත්න ගනු ලැබීය. එය මොන තරම් උග්‍ර ප්රයත්නයක් වීද යත් එක් අවස්ථාවකට ඒ සඳහා වාසුදේව නානායක්කාර පවා ඉදිරිපත් කිරීමට ඔවුහු කටයුතු කළහ.
වතාවක් එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම හේතුකොටගෙන ඔවුන්ට සිදුවූයේ ඇස්කණ්ණාඩිය හරහා තරග කළ ස්වාධීන කණ්ඩායමකට සහයෝගය ලබාදීමටය. එවර පවා මහින්දට කොළඹ නගර සභාව ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ අතර එහි ජයග්‍රහණය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂය ආශීර්වාදය හිමි වූ ඇස් කණ්ණාඩියටය. නමුත් මහින්දලා ඉන් අනතුරුව සිදුකළේ ඇස්කණ්ණාඩියෙන් පත්වූ මන්ත්‍රීවරු තමන්ගේ පැත්තට බාගන්නා එකය.
කෙසේ වෙතත් ඊළඟ මැතිවරණයේදී නැවතත් එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගර සභාවේ බලය හිමිවිය. මෙවර එය තීරණාත්මක වන්නේ එක්සත් ජාතික පක්ෂය අද වන විට වැටී ඇති අගාධයේ තරම ගැන බැලූ විටය. එදා මහින්ද ඔවුන්ගේ ප්‍රතිවාදියා වුවත් මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ සමගි ජන බලවේගයය. සමගි ජන බලවේගයේ මහගෙදර එක්සත් ජාතික පක්ෂය වන අතර සමගි ජන බලවේගය බිහිවන්නේම රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ භූමිකාවට තීරණාත්මක ලෙස අභියෝග කරමිනි. ඒ අභියෝගය මොන තරම්ද යත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට වැටිණි.
මෙවර තීරණාත්මක වන්නේ එදාමෙදාතුර කොළඹ නගරාධිපති ධුරය සහ නගර සභාවේ බලය නතු කරගන්නට උත්සාහ කළ මහින්දගේ කණ්ඩායම ද එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මෙවර තරග කිරීමය. දැන් ඔවුන් දෙගොල්ලගේම ප්‍රතිවාදියා බවට පත්ව ඇත්තේ සමගි ජන බලවේගයය. ඒත් දෙගොල්ලම එකට තබා පරාජය කිරීමට සමගි ජන බලවේගයට පුළුවන්ද බැරිද කියන එක තීරණය වන්නේ එළැඹෙන මැතිවරණයේදීය. ඒ සටනට සමගි ජන බලවේගය යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ සටන්කාමී මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමාන්ය.ආසියාවේ පැරණිම නගර සභාව වන කොළඹ මහනගර සභාව දෙවැනි වන්නේ පාර්ලිමේන්තුවට පමණි. බස්නාහිර පළාත් සභාව යටතේ පැවැතිය ද ජනතාවගේ පොදු පහසුකම් හා ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ඍජුවම කොළඹ නගර සභාව මුල් වන හෙයින්ද තවද බිම් මට්ටමේ සිට ජනතාව හා සමීප සම්බන්ධතා ඇත්තේ ද නගර සභා මන්ත්‍රීන් සමග වීම මින් විශේෂය. ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය – ආර්ථික පරිපාලන කේන්ද්‍රස්ථානය වන කොළඹ සුවිශේෂ වැදගත් ස්ථානයකි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක් ස්ථාපිත වූයේ මීට අවුරුදු 152කට පෙරය. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් ප්‍රථම වරට මහජන මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමටත් අවුරුදු 45කට කලිනි. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ 1911 දීය. මුල් රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත්වුණේ 1931 දීය. මුල්ම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුණේ 1947 දීය. එබැවින් පළාත් පාලන ක්‍රමයත් පළාත් පාලන ඡන්දයත් බොහෝ වැඩිමහල්ය.
නගර සභා ආරම්භයේ සිට බි්රතාන්ය පාර්ලිමේන්තු අණ පනත් තුළින් පාලනය වුණු නගර සභාව 1865 අංක 17 දරන ආඥා පනතින් පළමු නගර සභාවට නාගරික මන්ත්‍රීවරු පත්කර 1866 ජනවාරි 16 දින එහි මංගල රැස්වීම පවත්වා ඇත. එහි ප්‍රථම සභාපති ලෙස පත්කළ මන්ත්‍රී සී.පී. ලෙයාඩ් මහතාද, ලේකම් ලෙස සැම්වෙල් ග්‍රෙනියර් මහතාද පත් කරගෙන ඇත. කොළඹ නගර සභාවට නගරාධිපතිවරයකු පත්කර ඇත්තේ 1939 දීය. එසේ පත්වූ මුල්ම ලාංකික නගරාධිපති වූයේ දොස්තර රත්න ජෝති සරවනමුත්තු මහතාය. දේශපාලන පක්ෂ යටතේ මන්ත්‍රීවරුන් පත්කර ඇත්තේ ද එතුමා නගරාධිපතිව සිටි වකවානුවේය. ඒ අනුව මැතිවරණ කොට්ඨාස 37 වෙනුවෙන් 1950 වසරේ නගර සභා මැතිවරණය පවත්වා ඇත. පසුව ඡන්ද කොට්ඨාස 47 දක්වා පුළුල් කර ඇත. දැනට පිටකොටුවේ කෙළින් වීදියේ ඇති වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භයේ සභා රැස්වීම තැබූ ඓතිහාසික ස්ථානයකි.
මෙරටට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාව මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1865 සිට 1872 දක්වා ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ සර් හර්කියුලස් පී.ආර්. රොබින්සන් වන අතර, කොළඹ නගර සභාව ස්ථාපනය කිරීමට සමගාමීව 1865 නොවැම්බර් 25 වැනි දින ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගත්තේය. එම නිවේදනය මගින් කොළඹ නගරයේ සීමා මායිම් ප්‍රසිද්ධියට පත් කෙරිණි. ඒ අනුව කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොළඹ කොටුව, සාන්ත බස්තියම, පිටකොටුව, සාන්ත පාවුළු, නිව් බසාර්, කොටහේන සහ මරදාන යන ප්‍රදේශ කොළඹ නගර සීමාව වශයෙන් නම්කර තිබිණි. සමස්ත ප්‍රදේශය වර්ග සැතපුම් 15කට සීමා විය.
1866 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ මහනුවර නගර සඳහා නගර සභා දෙකක් ස්ථාපනය කෙරිණි. එයින්ද ප්‍රථමයෙන් ඡන්දය විමසන ලද්දේ කොළඹ නගර සභාවටයි. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර සභාව කොළඹ නගර සභාව විණි. කොළඹ නගරය කොට්ඨාස නවයකට බෙදා ඒ ඒ කොට්ඨාසය සඳහා දිසාපතිවරයා විසින් කොළඹ කච්චේරියේදී නාමයෝජනා භාරගන්නා ලදී. කොළඹ නගරයේ බදු ගෙවන නගරවාසීහු ඡන්දදායකයෝ වූහ. කොළඹ කච්චේරියේදී ඔවුන්ගේ කැමැත්ත විමසා වැඩි දෙනාගේ කැමැත්ත පරිදි කොට්ඨාසවලට නියෝජිතයන් පත්කර ගැනිණි. ඒ අනුව කොට්ඨාස නවයට පත් කරගත් සභිකයෝ මෙසේ වූහ.
වර්තමානයේ කොළඹ මහනගර සභාව විහාරමහාදේවි උද්‍යානය අසල පිහිටා තිබුණද එය මුලින්ම ස්ථාපනය කෙරුණේ පිටකොටුවේ ගෑස්පහ හන්දිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලකය. එය නටබුන් වෙන්නට යමින් අදටත් ඉතිරිව තිබේ. 1870 වැනි කාලයේ කොළඹ ප්‍රදේශයේ සමස්ත ජනගහනය 80,000ක් පමණ වූ අතර නගර සභාව සිය ආදායම් උපදවා ගත්තේ වරිපනම් හා බදු මගිනි. ඒ, නගර සීමාවේ පැවැති සියලු නිවාස, ගොඩනැගිලි සහ පේළි නිවාසවලින් වරිපනම්ද, සතුන්ගෙන්, වාහනවලින්, වෙළෙඳසල් හා මස්මඩු ආදියෙන් බදුද, මත්පැන් හා තුවක්කු බලපත්‍ර ගාස්තු, මුද්දර ගාස්තු, පොලිසිය හා නාගරික මහේස්ත්‍රාත් විසින් නියම කරන ලද දඩ මගින්ද ආදායම් උපයා ගැනීමට නගර සභාව කටයුතු කරමිනි. 1866 වසරේ නගර සභාව උපයා ගත් ආදායම ස්ටර්ලිං පවුම් 6,429ක් විය. 1872 ශ්‍රී ලංකාවට රුපියල් ශත හඳුන්වා දීමෙන් පසු නගර සභාව රුපියල් 296,494ක් උපයාගත් බැව් සඳහන් වේ.
නමුත් අද කොළඹ නගර සභාව ආර්ථික වශයෙන් සුවිශේෂ තෝතැන්නකි. දේශපාලන වශයෙන්ද සුවිශේෂ තෝතැන්නකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර කොළඹ නගර සභාව තීරණාත්මක වන්නේ එහි එතෙක් මෙතෙක් ප්‍රතිවාදීන් ලෙස සිටි කණ්ඩායම් දෙකක් එකට එක්වී තරග කිරීමත්, වැඩිම කලක් එහි බලය දැරූ එක්සත් ජාතික පක්ෂයෙන් බිඳීගිය කණ්ඩායමක් ප්‍රතිවාදීන් ලෙස තරග කිරීමත්ය.
එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණු සන්ධානය මොන තුරුම්පුවක් ආදීද කියා දන්නේ නැත. හැබැයි සමගි ජන බලවේගයේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාසය. කොළඹ නගර සභාවට ඔහු තෝරාගත් තුරුම්පුව වන්නෙ මුජිබර් රහුමාන්ය.
මුජීබර් කොළඹ නගර සභා ඉතිහාසය අලුතින් ලියයිද නැද්ද කියලා බලාගන්න වෙන්නේ ඉදිරි මැතිවරණයේදීය.
ටි්රක්සි ජයවර්ධන