පාස්කු නඩුවට මෛත්රි හිරවෙද්දී , ජනපති රනිල් නිදහස්
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ වින්දිතයින් පිරිසක් විසින් ගොනුකරන ලද නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ජනාධිපති රනිල් වික්රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය අද (01) නියෝග කළේය.
වගඋත්තරකාර රනිල් වික්රමසිංහ මේ වනවිට රටේ විධායක ජනාධිපතිවරයා ලෙසින් සිටින බැවින් ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥයන් විසින් මෙයට පෙර මූලික විරෝධතාවක් මතු කර කරුණු දක්වා සිටි අතර, ඒ පිළිබඳව සැලකිල්ලට ගත් කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මෙම තීන්දුව ප්රකාශයට පත් කළාය.
ත්රස්ත ප්රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් 108 දෙනකු විසින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩු 108 ගොනු කර තිබුණි.
කෙසේ වුවද හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන, තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්රතික්ෂේප කර, තමන් නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්රභ කිරීමටද අධිකරණය අද තීන්දු කළේය.
හිටපු ජනාධිපති මෛත්රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ඒ අනුව රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නියෝග කරන ලදී.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අදාළ පෙත්සම විභාගයට ගත් සංජීව මොරායස් සහ ෆ්රෑන්ක් ගුණවර්ධන යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.
අන්තවාදීන්ගෙන් ප්රහාරයක් එල්ල වන බවට ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ.