පැමිණිලි කිහිපයක සාක්ෂිකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කෙරේ

 

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට කොමිසම තීරණය කළේය.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලට අදාළව මීට පෙර වික්‍රමසිංහ මහතා කොමිසමට ලබා දුන් සාක්ෂි සලකා බලා එම තීරණය ගත් බවය.

පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

ඔහු සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරම හිමි වූයේ දූෂණයට වංචාවට එරෙහි දුක් ගැනවිලි වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා බැවින් දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කළ බවය.

එහිදී සභාපති විනිසුරුවරයා පවසා සිටියේ “ඒ දුක් ගැනවිල්ල ද ළඟදි මැතිවරණයෙන් ලක්ෂ ගණනකින් පැරදුනේ.” එවිට චම්පික රණවක මහතා පවසා සිටියේ ස්වාමීනි අප එය හිස නමා පිළිගන්නා බවය.

තවද යහපාලන ආණ්ඩුවේ සිටි ඇතැම් අය දූෂණයට සම්බන්ධ අය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු මතු වූ බව චම්පික රණවක මහතා මෙහිදී කියා සිටියේය.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පැවසුවේ, හිටපු ජනාධිපති සහ ආණ්ඩුවට පක්ෂග්‍රාහී කිසිවකුට එරෙහිව අවම වශයෙන් බී වාර්තාවක් හෝ ඉදිරිපත් වී නැති බවය.

කෙසේ වෙතත්, අනුර ප්‍රියදර්ශන යාපා රාජිත සේනාරත්න සජිත් ප්‍රේමදාස යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වූ බව රණවක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එම විමර්ශන දූෂණ විරෝධී කමිටුව හරහා සිදුවූයේ නැහැ නේදැයි එහිදී සභාපති විනිසුරුවරයා විමසීමක් කළේය.

මේ අතර දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද අද කොමිසම හමුවේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේය.

එමෙන්ම, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලද අද කැඳවු අතර එම අවස්ථාවේ මලික් සමරවික්‍රම සහ පාඨලී චම්පික යන හිටපු අමාත්‍යවරුන් මුණ ගැසුණි.