ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක ණය ආධාර මුදලක්
මාර්තු මාසයේදී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ණය වාරිකයෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන විශාලතම අරමුදල් වාරිකය වන ඩොලර් මිලියන 700ක මුදලක් ලෝක බැංකුව විසින් අද (29) අනුමත කළේය.
මේ ලබා දෙන ඩොලර් මිලියන 700ක අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ අයවැය ආධාර සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි ඩොලර් මිලියන 200 ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් සඳහා වෙන් කර ඇති සුභසාධන ආධාර සඳහා අනුමත කර තිබේ.
“අදියර ප්‍රවේශයක් හරහාවන ලෝක බැංකුවේ මෙම සමූහ උපායමාර්ගය මුල් ආර්ථික ස්ථායීකරණය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දිළිඳු හා අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි” යනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්යක්ෂ Faris Hadad-Zervos නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.
මෙම ආර්ථික ප්‍රතිසංස්කරණය තිරසාරව පවත්වාගන්නේනම් රටට යලිත් ඵලදායී සංවර්ධනයක් කරා යන ගමනට ප්‍රවේශ විය හැකි බවට ද අධ්යක්ෂවරයා එම නිවේදනයෙන් බලාපොරොත්තු පල කර තිබේ.
IMF විසින් මාර්තු මාසයේදී ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3 කට ආසන්න ඇපදීමක් අනුමත කරන ලද අතර, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ඩොලර් බිලියන 4 ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.