බලය බෙදන්න පොහොට්ටුව එකගයි.. මහින්ද කිවුවෙත් 13+ කියලයි…

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දරණ ස්ථාවරයට අනුව ඒකීය රාජ්‍ය තුළ බලය බෙදිය යුතුය යන ස්ථාවරයේ සිය පක්ෂය සිටින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඇතිවු සංවාදය මෙසේය.

පා.ම. දයාසිරි ජයසේකර මහතා –

ශ්‍රීලනිපය විදිහට අපිත් ජනාධිපතිතුමා සමගා මේ සම්බන්ධයෙන් කතා කලා. අපිට උදව් කරන්න පුළුවන් දේවල් වලට අපි උදව් කරනවා. නමුත් ප්‍රශ්නය ජනාධිපතිතුමනි, ඔබතුමා මේ යෝජනා ගෙන එන විට ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණේ ලේකම්වරයා එදා කෙලින්ම කිවුවා මේ ගැන ඔබතුමාට කිසි බලයක් නැහැ. ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා කියලා. මේක ඔබතුමාගේ පුද්ගලික යෝජනාවලියක්ද? නැත්නම් ආණ්ඩුවේ බෙදීමක්ද? ඔබතුමා විවිධ පනත් ගේනවා. එම පනත් ගැන අපි සාකච්ඡා කරන විට අපි සහය දෙන්න කතා කරන කොට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා එහෙම කියනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් මං අහන්න කැමතියි. මේ සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ මතය කුමක්ද කියලා. මේ යෝජනා ගෙන එන විට ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරුද්ධ වුනොත් ආණ්ඩුවේ මතයක් විදිහට නැතුව වෙන කාරණයක් මතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අහනවා මේ ගැන ආණ්ඩුවේ මතය මොකක්ද කියලා. ඒ වගේම මේ ගැන උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ අදහස් ටිකත් ගත යුතුයි. ඒ නිසා එක මතයක ඉදගෙන ඔබතුමාලා මේ යෝජනා ගේන්න. එතකොට අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න පුළුවන්.

පා.ම. කුමාර වෙල්ගම මහතා –

ජනාධිපතිතුමා ඉදිරිපත් කල යෝජනා ගැන සලකා බලනවා කියලා විපක්ෂ නායකතුමත් කිවුවා. අපි ඒක බලලා හොද නම් හොදයි, නරක නම් නරකයි කියලා අපි දන්වන්නම්. මේ ගිවිසුම අත්සන් කලේ අපි නෙමෙයි. ඔබතුමාලයි. එදා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව කාලේ රජීව් ගාන්ධි මැතිතුමා ගෙන්වලා මේ ගිවිසුම අත්සන් කලා. අපි පිටකොටුවේ බෝගහ ලග මේකට විරුද්ධව උද්ඝෝෂණ කලා. මහින්ද රාජපක්ෂ මහතා දන්නවා. එදා හිටපු ගොඩක් අය දැන් මැරිලා. අපිට කදුලු ගෑස් ගැහුවා. කිරිඇල්ල මහත්තයත් එදා අපි එක්ක හිටියේ. ඒ වගේම හම්බන්තොට වරාය ගැන උද්ඝෝෂණය කරනකොටත් අපිට ගැහුවා. අපි ඉපදිලා කියෙන්නෙම ගුටි කන්න. අරගලය කාලෙත් අපිට ගැහුවා. අපි ටික දවසකින් මැරිලා යයි. ගරු ජනාධිපතිතුමනි, ඒ නිසා මේ ප්‍රශ්නය ඉවර කරන්න ඔබතුමා ඉන්න කාලෙම. ඒකට හේතුව අපේ නැත්නම් අපේ දරු මුණුබුරන්ටත් ඉදිරියේදී ගුටි කන්න වෙයි ඉදිරියේදී. ඒක කරන්න ඉඩ තියන්න එපා. නැත්නම් ඔබතුමාට යහතින් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මැරුණට පස්සේ ඉන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා කොහොම හරි මේක විසදන්න කියලා මං ඉල්ලනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

ගරු කතානායකතුමනී, ඔබතුමත් පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයෙක් විදියට කටයතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මෙතැන ඉන්න අපි දෙන්නෙකුත් ප්‍රධාන ඇමතිවරු විදියට කටයුතු කළා. අදටත් ඉන්නේ එතුමාගේ නායකත්වය යටතේ අපි පක්ෂයක් හැටියටයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හැමදාම කිව්ව දෙයක් තමයි ඒකීය රාජ්‍ය තුළ බලය බෙදිය යුතු යැයි ස්ථාවරයේ ඉදගෙන පළාත් සභාවල මහ ඇමතිවරුන්ට කැබිනට් එකට ඇවිල්ල වඩා වෙලා කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නා. පොහොට්ටුවේ බෙදීමක් ගැන කියන්න හැදුවත් අපි බලය බෙදීම සඳහා එකඟතාවය දීපු 13+ එක ගැන කතා කරපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා.

(පාර්ලිමේන්තුවේ තුළ කෑ ගෝ ගසයි.)

මේක හංගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අපි සාධනීය කරුණු කාරණා පිළිබඳව අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාර්ව පාක්ෂික සමුළුවට සම්බන්ධ වෙලා අපේ මතය කියන්න පුළුවන්කමක් අපිට තියෙනවා. මම එතුමාගේ අවසරය අරගෙනයි මේ කාරණාව පැහැදිලි කළේ.

පා.ම. ගෙවිදු කුමාරතුංග මහතා –

අපේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වෙනත් රටකට අපේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා. අපි 13වන සංශෝධනය ගත්තත් ඔබට අමතකද දන්නේ නෑ ඒක සම්මත වූනේ කොහොමද කියලා. අදටත් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා 13වන සං‍ශෝධනයේ දෙවැනි සංශෝධනයේ සංයුක්ත ලැයිස්තුවේ තිබෙනවා පොලිස් බලතල ගැන කියනකොට යම් පළාතකට අයත් පොලිස් හමුදාවට අයත් සාමාජිකයින්ට හා බලතල වල විෂය පථය ඒ පළාතෙන් පිටත දුම්රිය පළාත තියෙනවද කථානායකතුමනී,

වෙන රටක ලියලා බලහත්කාරයෙන් අපේ රට තුළ පනවපු සංශෝධනයක් කර උඩ තියාගෙන යනවා. මෙතුමා කතා කළා 2017 ව්‍යවස්ථා සංශෝධනය ගැන ගරු අගමැතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි එකතු වෙලා නිර්මාණය කළ 69 ලක්ෂයේ ජනවරම තියෙන්නේ මෙතුමා 2017 ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධව නෙමෙයිද? ඔබතුමන්ලාගේ ජනවරමට එරෙහිවද මේ කටයුතු කරන්නේ. මෙතුමා පත්වෙලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණ 69 ලක්ෂයේ ජනවරම වෙනුවෙන්. ඒ ජනවරම පැහැදිලිව නිර්මාණය කළේ ඔබතුමයි. ජනාධිපතිතුමා අද සදහන් කළ 2017 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවයි. ඒ නිසා මේ රටේ ජනතාව පරාජය කළ ව්‍යවස්ථාවක් කර තබාගෙන එන්න යන්න එපා. මේ පාර්ලිමේන්තුවේ එකඟතාවය මත මේ ජනවරමට අනුකූල වෙච්ච සංශෝධනයක් හෝ එකඟතාවයක් ගොඩනගනවා නම් ඒ වෙනම කාරණාවක්. අපි ලැජ්ජ වෙනවා ඔබතුමා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට තෝරාගෙන වාර්ගික පදනමක් මත කටයුතු කිරීම සම්බන්ධයෙන් අද කියනවා මුස්ලිම් වාර්ගික පදනම මත ඒ අයට සාකච්ඡාවක් දෙන්නම් කියලා. ඔබතුමාට බැරි වුණා ආදර්ශයක් දෙන්න උතුරු නැගෙනහිර දෙපළාතේ සියළු මහජන මන්ත්‍රීවරු ගෙනල්ලා සාකච්ඡාවක් පවත්තලා. පළාත් පාලන ඡන්දය ගැන ඔබතුමත් කියනවා ඇප මුදල් ආපසු දෙන්නම් කියලා. ජනාධිපතිතුමා කථා කරන්නේ බලය විමද්‍යගත කිරීම පිළිබඳ. ගමට, පළාතට බලයා දීම ගැනයි. නාමයෝජනා කැදවලා, ඇප මුදල් භාරගෙන, ඡන්ද නොතියා, ඔබතුමා කරන්න යන බලය බෙදීම මොකක්ද? කවුරු වෙනුවෙන්ද? ජනාධිපති සිහිනයක් වෙනුවෙන් අපේ මව්බිම පවා දෙන්න අපි කටයුතු කරන්නේ නෑ.

පා.ම. අතුරලියේ රතන හිමි –

ජනාධිපතිතුමා විසින් සභාවට ඉදිරිපත් කළ කරුණු පොදුජන පෙරමුණේ අය සිහිකල්පනාවෙන් යුක්තව කතා කරයි කියලා. මම විපක්ෂයේ හිටියත් පොදුජන පෙරමුණේ අදහස් උදහස් සමග හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වීමට උදව් කර කැප වු අයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද ඉදිරිපත් කළ දේ බරපතළකම සභාව තේරුම් ගත්තාද කියලා මම දන්නේ නෑ.

ගරු ජනාධිපතිතුමනී, ඔබතුමාට පැහැදිලිවම ජාතික වාදී නොවී ඔබතුමාට තිබෙන පොදු ප්‍රශ්නයක්. මූල්‍ය අර්බුදයක් සංස්කෘතික අර්බුදයක් තිබෙනවා. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජාතික කාරණා මුලට ගන්න එපා. උතුරු පළාතේ, දකුණු පළාතේ බලතල, මුස්ලිම් බලතල පළාතේ බලතල නෙමෙයි. ඔබතුමා ගෙනාපු කරාණා ආයෝජනය කරන්න බිලියන ගණන් පළාත් සභාවට ගේන්න පුළුවන් කියන එක. ඒකේ තියෙන බරපතලකම මේ සභාව ගැබුරින් කල්පනා කරයි කියලා මම විශ්වාස කරනවා.

පා.ම. මනෝ ගනේෂන් මහතා –

13 වන ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අදත් 13 සංශෝධන ප්ලස් එකට ඉන්නවා කියලා. පළාත් සභා ක්‍රමය මේ රටට ඇවිල්ලා ඉවරයි. බලතල වෙනස් කර ගන්න සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් නෑ. මේ රටේ අලුත් ප්‍රශ්නයක් හදන්න ඕනේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මතක ඇති යුද්ධය අවසන් කළ කාලයේ එතුමා හමුවුණා. එතුමා සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයෙක් කිව්වා.අවස්ථාව තිබෙනවා දැන් යුද්ධය අවසන් කරපු විදියට දැන් බලය බෙදලා ජනතා හිත දිනාගෙන ප්‍රශ්නය සම්පූර්ණය අවසන් කරනවා කිව්වා. ඔබතුමා ඒක කරේ නෑ. දැන් හරි අවස්ථාව එළඹෙනවා. ඒක කරමු. මේ පාර තමයි අවස්ථාව. ප්‍රසන්න ඇමතිතුමා කතා කළ විදියට එහෙම හිටිය නම් හොදයි. අපට අවශ්‍ය ඒකයි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

අපි දැන් අපිට කරන්න තියෙන්නේ වාද විවාද කරන්න නෙමෙයි. අදාල පනත් කෙටුම්පත ආවාම තීරණයක් අරගන්න. මගෙන් අහනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන. මම මේ ගැන සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ට විතරයි. කතාව ගැන කිව්වේ නෑ. තමුන්නාන්සේලා මට කියන්නේ රාජපක්ෂලාට යටවෙන්න එපා තනියම වැඩ කරන්න කියලද?තනියම වැඩ කරාම කියනවා ඇයි රාජපක්ෂලාට යට නොවුනේ කියලා. දෙකෙන් එකක් තීරණය කරලා කියන්න මට. මේ ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එකතු වෙලා තීරණයක් අරගන්න.

– ප්‍රදීප් අනුර කුමාර