පාර්ලිමේන්තුවට ‘නරක් වූ පලතුරු කැවූ‘ නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්
පාර්ලිමේන්තු භෝජනගාරයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා අල්ලස් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා ලබන 22 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් එච්. අයි. කේ කාහිංගල මහත්මිය අද (18) නියෝග කළාය.
සැකකරු කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000 මුදල් ඉල්ලා තිබිණි.
ඊට අදාළව රුපියල් 60000ක මුදලක් ලබා ගැනීමට යාමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.