මහර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ නම් පොලීසිය ප්‍රකාශ කරයි

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රාගම ශික්ෂණ රෝහල අද (02) තහවුරු කළේය.

පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන් 8 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණය සමඟ ඊයේ (01) සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වූ බව රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

තුවාල ලබූ රැඳවියන්ගෙන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මින් පෙර හඳුනාගැනුණි.

තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලෙන් පිටත් කර තිබේ.

මහර බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

ඒ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නවක උපදේශන නිලධාරීන්ගේ පත්වීම් ප්‍රදානෝත්සවයට අද එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද අද මහර බන්ධනාගාරයේ තත්ත්වය සොයාබැලීම සඳහා පැමිණ තිබුණි.

නමුත් ඔවුන්ට බන්ධනාගාරයට ඇතුළු වීම සඳහා පාලනාධිකාරියෙන් අවසර හිමිවූයේ නැත.

එහිදී ඔවුන් මියගිය රැඳවියන්ගේ අනන්‍යතාව ගැන විමසීය.

ඒ පිළිබඳ ව හැකි ඉක්මණින් තොරතුරු දෙන බවට බන්ධනාගාර බලධාරීන් එම මන්ත්‍රීවරුන්ට පොරොන්දු විය.

එමෙන්ම රැඳවියන්ගේ ඥාතීන් අදත් මහර බන්ධනාගාරය අසලට රැස්ව සිටියේ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ අනන්‍යතාවය හෙළිකරන ලෙසට බලධාරීන්ට බලකරමිනි.

පසුව පොලීසිය එහි පැමිණ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ නම්  ප්‍රකාශ කළේය.

මේ අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට වෙනත් අමාත්‍යාංශයක් භාරදීම නිසා පුරප්පාඩු වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යධුරය සඳහා පත්කෙරුණු ලොහාන් රත්වත්තේ මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දුනි.

ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිරදඬුවම් විඳින රැඳවියන් මුණගැසුණු අවස්ථාවේ දී ගැටුම පිළිබඳ තොරතුරු හෙළිකළේය.