ගනේවත්ත සීරාදුන්න ගම හුදෙකලා කරයි
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයට අයත් වැල්ලව කනව සීරාදුන්න ප්‍රදේශයෙන් ඊයේ (13දා) කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 18 දෙනෙකුම හමු වීම හේතුවෙන් සීරාදුන්න ග්‍රාම නිලධාරි වසම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරියකගේ නිවසේ පැවති සාදයකට සහභාගිවූ සීරාදුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
සීරාදුන්න නිවසේ පවත්වන ලද එම සාදයෙන් අනතුරුව සැරයන්වරියට සහ ඇගේ මවට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් අනතුරුව එම සාදයට සහභාගි වූ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී ඇත.
මෙම සාදයට සහභාගි වූ බව කියන වැල්ලව පොලීසියේ නිලධාරීන් පිරිසක්ද මේවනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටිති. මෙම පොලිස් නිලධාරිනිය සේවය කරන කොළඹ පොලිස් ස්ථානයෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බව සැක කරයි.
මෙම තත්ත්වය මත එම සාදයට සහභාගි වූ සීරාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් 118 දෙනෙකු ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඔවුන් අතරින් මෙම ආසාදිතයින් 18 දෙනා තහවුරුවී තිබේ.
දෙවන කොරෝනා වසංගත අවදිය ආරම්භ වීමෙන් පසුව මෙම දෙසැම්බර් මාසය ආරම්භ වන තෙක්ම ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බළ ප්‍රදේශයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොතිබුණු පසුබිමක සාදයක් හේතුවෙන් මේ ආකාරයට එක්වරම කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීම බරපතළ ගැටළුවක් බව දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් පවසති.
පොලිස් නිලධාරිනියගේ නිවසේ පැවතී සාදයට ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වීම හේතුවෙන් ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය නිලධාරීන් අනතුරු හඟවති.