ලොවපුරා ගූගල් සේවා පැයක දැවැන්ත ඇණහිටීමක් වෙලා
යූටියුබ්, ජීමේල් සහ ගූගල් ක්ලාස්රූම් යන සේවා ඇතුළු ගූගල් හි දැවැන්ත ඇණහිටීමක් ඊයේ (14දා) දිනයේ පැයක පමණ කාලයක් ලොවපුරා සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ යූටියුබ් වීඩියෝ නැරඹීම, ගූගල් ඩොක්ස් වෙත පිවිසීම හෝ ජීමේල් වෙත ඊමේල් යැවීම වළක්වා ඇත. මෙම ඇණහිටීම නිසා ගූගල් ක්ලාස්රූම් සේවා තාවකාලිකව ලබාගත නොහැකි වූ අතර, දුරස්ථව ඉගෙන ගන්නා බොහෝ සිසුන්ට ඔවුන්ගේ පන්තිවලට ප්රවේශවීම වළක්වනු ලැබීය.
ඊයේ ග්රිනීච් වේලාවෙන් ප.ව.1.00 (ශ්රී ලංකා වේලාවෙන් ප.ව.6.30ට පමණ) පසුවී ගූගල් හි බොහෝ සේවා නැවත මාර්ගගත විය. මෙම අවස්ථාවේදී ගූගල් සමාගමේ සේවා ස්ථාන තත්ත්ව උපකරණ පුවරුව පුරා රතු පැහැය පෙන්නුම් කරමින්, සෑම ගූගල් සේවාවක්ම ඇණහිටීමක් පෙන්නුම් කර ඇත.
“අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ ඉවසීමට සහ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි” යනුවෙන් ගූගල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ගූගල් හි යෙදුම් තවමත් ප්රවේශ කළ නොහැකි පුද්ගලයන් සඳහා ඒවා ප්රතිස්ථාපනය කිරීමට සමාගම කටයුතු කරන නමුත් ගැටලු බොහෝ දුරට විසඳී ඇති බවද ඔවුන් කියයි.
“ගූගල් හි පද්ධති විශ්වසනීයත්වයට ප්රමුඛස්ථානයක් ලබාදෙන බවට අප සහතික වෙනවා. අපගේ පද්ධති වඩා උසස් කිරීම සඳහා අපි අඛණ්ඩව වැඩිදියුණු කරමින් සිටිනවා” යනුවෙන් සමාගම වැඩිදුරට්ත පැවසීය.
විවිධ හේතූන් මත වරින් වර අන්තර්ජාල සේවා අසාර්ථක වේ. මූලික වශයෙන් සර්වර්ස්වල ඇතිවන දෝෂ, වැරදි ලෙස ස්ථාපනය කර ඇති නඩත්තු පිළිවෙත් හෝ වෙනත් විභව දෝෂ දැක්විය හැකිය. ගූගල් හි මෑතකදී සිදුවූ ප්රධාන ඇණහිටීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. එම අවස්ථාවේදී ගූගල් ඩොක්ස් පැය කිහිපයක් ක්රියාත්මක නොවීය.