නුවර පාරේ ධාවන තරඟයක් පැවැත් වූ යතුරුපැදිකරුවෙකුට 90,000 ක් දඩ
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වූ යතුරු පැදිකරුවෙකුට චෝදනා 04 කට අදාළව රුපියල් 90,000 දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා ඊයේ (14) නියම කළා.
මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් ඔහු කඩවත, රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි අයෙක්.
කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට කිරිල්ලවල – කන්දකපාපු හංදිය දක්වා ත්‍රීරෝද රථ සහ යතුරුපැදි මුදලට රේස් පැදීම රාත්‍රි 12 ත් අලුයම් කාලයත් අතර දී සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.
එම රියදුරන් පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කළද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බවටත් මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙම රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙසයි මෙහිදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ අනුව සැකකාර යතුරු පැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90,000 ක දඩයක් නියම කළා.
පසුගියදා මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ගැබිණි මවකට බරපතල තුවාල සිදුවූ රිය අනතුරෙන් පසුවයි මෙලෙස අධික වේගයෙන් සහ අපරික්ෂාකාරී ලෙස ධාවනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.
ඒ අනුව පසුගියදා එලෙස සිදුකළ වැටලීම්වලදී රාත්‍රි කාලයේදී යතුරුපැදි ධාවන තරඟ සංවිධාන කළ තරුණයින් රැසක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.