යාපනය මහ නගර සභාවේ අයවැය දෙවන වරටත් පරදයි: නගරාධිපති වෙනස් වීමේ ඉඩකඩක්
දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහ නගර සභාවේ අයවැය කියවීම අද (16), වැඩි ඡන්ද 3 කින් පරාජයට පත්ව ඇත.
යාපනය මහ නගර සභාවේ ආරංචි මාර්ග අනුව අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21 ක් සහ විපක්ෂව ඡන්ද 24 ක් ලැබී තිබේ.
2021 වර්ෂය සඳහා එම මහ නගර සභාවේ නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා ඉදිරිපත් කළ අයවැය පළමු වර කියවීම දෙසැම්බර් 2 වන දා සිදු කළ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 19 ක් සහ විපක්ෂව ඡන්ද 24 ක් හිමි විය.
අයවැය දෙවන වර කියවීමේදී දෙමළ ජාතික සන්ධාන සභිකයන් 16 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂ සභිකයින් තිදෙනෙක්, දෙමළ නිදහස් පෙරමුණු පක්ෂ සභිකයෙක් සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ සභිකයෙක් අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කර ඇත.
මේ අතර, දෙමළ ජාතික මහජන පෙරමුණු සභිකයන් 13 දෙනෙක්, ඊ. පී. ඩී. පී. පක්ෂයේ සභිකයන් 10 දෙනෙක් සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ සභිකයෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබේ.
මහ නගර සභාවේ අයවැය දෙවරක් පරාජයට පත්වීම සහ මහ නගර සභාවේ තනි පක්ෂයක් වෙත 50% ක තනි බලයක් නොමැතිවීම හේතුවෙන් මහ නගර සභා පනතේ ප්රතිපාදන මත පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නව නගරාධිපතිවරයෙකු පත් කිරීමට බලය හිමිවන අතර, අදාළ ක්රියාමාර්ග අනුව මහ නගර සභාවේ නගරාධිපති වෙනස්වීමේ ඉඩකඩක් පවතින බව විශ්ලේෂකයෝ පවසති.