සජිත්ගේ දේශපාලන ගමනට රොහාන් පල්ලේවත්තත් එක්වෙයි

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුව තිබේ.

පල්ලෙවත්ත මහතා එහිදී සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට එකඟවී ඇතැයි වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු මෙන්ම වෘත්තියවේදී ව්‍යවසායකයෙකු ලෙස පල්ලෙවත්ත මහතා සැලැකේ.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරනු ලබයි.

ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota, Honda, Volvo, BMW, Aston Martin, Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරනු ලබන්නේ අදාළ ආයතනයෙනි.

ඒ මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, එංගලන්තයේ බෝල්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය ලබා තිබේ.

ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇතැයි පැවසේ.

ඒ මහතා, සමගි ජන බලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස ද ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.