පාස්කු ප්‍රහාරය: හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට ‘ත්‍රස්ත ක්‍රියා සඳහා’ මුදල් ලැබිලා
නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාර් රාජ්‍යයේ නීති විරෝධී සංවිධානයකින් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා රුපියල් මිලියන දහ තුනක මුදලක් ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අනාවරණය කළේය.
ඒ අද (23) පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ආධාර අනුබල ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.
දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය පවත්වා ගෙන යන ‘සේව් ද පර්ල්’ නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි ‘කැලිපඩ්’ නමැති නීති විරෝධී සංවිධානයෙන්, ත්‍රස්ත ක්‍රියා සඳහා මෙම මුදල ලැබී ඇති බවට අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
බැංකු ගිණුම් වාර්තා විමර්ශනය කර බැලීමේදී පසුගිය වසර කිහිපය තුළ එම මුදල් ලැබී ඇති බවට තහවුරු වන බවත් එම මුදල් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදා ගෙන තිබේ දැයි යන්න පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන් ම, එම මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන ආරම්භ කර ඇති බවත් ‘සේව් ද පර්ල්’ සංවිධානය විසින් පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන යන මද්රසා පාසලක් තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ‘නවරසම්’ නමැති ග්‍රන්ථය පිළිබඳ මනෝ විද්‍යාත්මක වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් නමැති බෝම්බකරුට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා පිළිබඳ සිදු කරන ලද විමර්ශන අවසන් බවත් එහි උද්ධෘත නීතිපතිවරයා වෙත පසුගිය 17 වන දින යොමු කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 7 වන දින නැවත කැඳවීමට නියෝග කළ අතර මද්රසා පාසලක් තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ‘නවරසම්’ නමැති ග්‍රන්ථයේ සිංහල පිටපත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
mawbima