අපේ ATM වලින් කෝටි ගණන් ඇද්ද නයිජීරියානු හතේ කල්ලිය මව්බිම දැන්

නයිජීරියාවේ සිට මෙරට පැමිණ ඒ.ටී.එම්. යන්ත්‍රවලින් රුපියල් කෝටි ගණන් මුදල් වංචනික ලෙස ලබා ගනිමින් මහා පරිමාණ ජාවාරමක නිරතව සිටි ප්‍රබල සංවිධානයක හත් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කණ්ඩායම තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ ට පැවැසීය.
මෙම නයිජීරියානුවන් ඒ.ටී.එම්. යන්ත්‍ර සැකසීම, අලුත්වැඩියා කිරීම හා ව්‍යාජ ක්‍රම මඟින් මුදල් ලබා ගැනීමට හසළ පළපුරුද්දක් සහිත පිරිසක් යැයි ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මොවුන් පිළිබඳ කළ විමසීමේදී එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, මෙරටට පැමිණෙන විදේශිකයන් ආපසු එම රටවලට ගියේ ද නැද්ද යන්න ගුවන් තොටුපළ මගින් තහවුරු කළ යුතු බවය.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින මෙම නයිජීරියන් වංචනික රැළට වීසා දික්කර දෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා බවය.
මෙම නයිජීරියානුවන් මෙරට පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රවලින් රුපියල් සියය, දෙසීය බැගින් මුදල් ගන්නා බවද හෙළිදරව් වී තිබේ.
ඒ.ටී.එම්. යන්ත්‍රවල මුදල් අඩුවීම සම්බන්ධව පොලිසියට දිගින් දිගට ම ලැබුණු පැමිණිලි මත මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහසිගතව විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම විමර්ශනවලට අනුව ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් අදින මෙම සංවිධානාත්මක නයිජීරියානු කල්ලියේ හත්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින හත්දෙනාගෙන් දිගින් දිගට ම කළ ප්‍රශ්න කිරීමේදී මෙම කල්ලිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර නිදැල්ලේ සිටින සෙසු පිරිස ද අද හෙට ම අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
මෙම ජාවාරම මෙහෙයවන මහ මොළකරු හා මෙම ජාවාරමට හවුල් ශ්‍රී ලාංකිකයන් සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසීය.