ආයුධ පෙන්වන්න යද්දී පළායාමට තැත් කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

අද අලුයම වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසනවා. ආයුධ සගවා තැබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට රැගෙන යමින් සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුට වෙඩි තැබූ බවයි පොලිසිය පවසන්නේ.

කළගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය අද අලුයම තුනයි තිහට පමණ සිදුව තිබෙනවා. මියගොස් ඇත්තේ වේයන්ගොඩ බැවන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන්ත කුමාරසිරි නැමති තිස්හත් හැවිරිදි අයෙක්. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ආයුධ සගවා තැබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට සැකකරු රැගෙන ගොස් ඇත්තේ. එහිදී පොලිස් රියදුරුගේ ගෙළ අත් මාංචුවලින් සිරකිරීමේදී රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බව පොලිසිය පවසනවා. පළායාමට තැත් කිරීමේදී පොලීසිය තැබූ වෙඩි පහරින් තුවාල ලැබූ ඔහු වතුපිටිවල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු මීට දින කිහිපයකට පෙර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන පොලිසියට තොරතුරු ලබා දුන් පුද්ගලයෙකු කපා කොටා ඔහුගේ පාදයක් ද රැගෙන ගොස් ඊට පසුදිනක එම පාදය රැගෙන විත් දමා ගොස් තිබූ බව පොලිසිය පවසනවා. එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔත්තුකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් සියයක දුරින් පිහිටි පාළු වත්තක තිබී ජීව අත්බෝම්බ දෙකක් සහ ප්‍රදේශයේ සුසාන භූමයක් අසළ සගවා තිබූ කඩු දෙකක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!