පරරාජසිංහම් ඝාතනය ගැන කිසිම සාක්ෂියක් නැතිව මාව හිරේ දැම්මා – පිල්ලෙයාන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතු‍රෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකු අද (13) නිදොස්කොට නිදහස් කෙරුණි.

ඒ අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසුවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය අතරතුරදීය.

ඉන් වසර දහයකට පමණ පසු ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා 2015 ඔක්තෝබර් මස 14 වැනිදා නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබීය.

එදිනම පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබු අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කෙරුණි.

ඉන් අනතුරුව සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් මහතා වසර 4 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබුණු අතර 2020 නොවැම්බර් මස 24 වැනිදා ඔහුව ඇප මත මුදාහැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.විග්නේෂ්වරන් මහතා නියෝග කළේය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබුණි.

අනතුරුව පසුගිය 11 වැනිදා  මඩකලපුව මහාධිකරණයේ විභාග වන අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව අද මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.එස්. සූසෙයිදාසන් මහතා හමුවේ නඩුව කැඳවු අවස්ථාවේ ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා, නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වූ තමිල් මක්කල් විඩුදපලෙයි පුලිකල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පසුව මාධ්‍ය හමුවක් කැඳවා මෙසෙ පැවසීය‍

“මම දේශපාලනික වශයෙන් නැගෙනහිර පළාතේ නැගී සිටියොත් TNA එක හිතුවා ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය නැතිවෙයි කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිර්මාණය කිරීමට සහාය දුන් කණ්ඩායමේ පිරිසක් තමයි මට විරුද්ධව කටයුතු කළේ. TNA එකෙන් නැගෙනහිරින් ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කළ පිරිස LTTE යෙන් ඝාතනය කරලා ඔවුන්ට වුවමනා අයව එතැනට දැම්මා. මේවා ගැන කිසිම විමර්ශනයක් අද වෙනකම් සිදුවෙලා නැහැ. පරරාජසිංහම් ඝාතනය මම කළා කියලා මම කිව්වද? නැත්නම් කවුරුහරි දැක්කද? එහෙමත් නැතිනම් වීඩියෝ සාක්ෂි තියෙනවද? එහෙම කිසිම සාක්ෂියක් නැතුව මාව හිරේ දැම්මා. කොච්චර කැත වැඩ යහපාලන ආණ්ඩුවෙන් කරලා තියෙනවද? මම වැරදිකරුවා නෙමෙයි. මේ ඝාතනයට මට කිසිම සම්බන්ධයක් නැහැ කියලා අධිකරණයෙන් කියලා තියෙනවා. මාව අත්අඩංගුවට ගත් CID ය, එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් දන්නවා මේ සිද්ධිය ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. මේක 100% ක්ම දේශපාලන පළිගැනීමක්.”