රන්ජන්ගෙ දඬුවම අනුව මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා නම් ප්‍රේමලාල් ජයසේකර ඡන්දෙ ඉල්ලන්නවත් සුදුසු නෑ – අනුර

රන්ජන් රාමනායක මහතාට ලැබුණු සිරදඬුවමට අනුව ඔහුගේ මන්ත්‍රී දුරය ‍අහෝසි වන්නේ නම්, අධිකරණයෙන් මරණ දඬුවම හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට තබා මැතිවරණයට ඉදිරිපත් වීමටද නුසුදුස්සෙක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

රන්ජන් රාමනායක මහතාට ලැබුණු සිරදඬුවම සහ ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රන්ජන් රාමනායක මහතාට දඬුවම් නියම වූ පමණින් මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ නම්, ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ඡන්ද අයිතිය සහ ප්‍රජා අයිතියද අහෝසි වියයුතු බැවින් ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සුදුසුකමක් නොමැති බවයි අනුර දිසානායක මහතා පවසන්නේ. ඔහු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවිට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ නමුත් දඬුවම නියම වීම සහ අභියාචනය ඉදිරිපත් කිරීම අතරතුර කාලයේදී ඔහුට ලැබුණු දඬුවම බලාත්මක වන බැවින් ඔහු ඡන්දය ඉල්ලීමට සුදුසු වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටී.

මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වූ එස්.බී. දිසානායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සිදු වූයේ අධිකරණයෙන් ලැබුණු දඬුවම නිසා නොව දිසානායක මහතා නොකඩවා මාස තුනක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූ නිසා බවද අනුර දිසානායක මහතා පවසනවා. එස්.බී. දිසානායක මහතා නොකඩවා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි නොවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් පසු ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ රන්ජන් රාමනායක මහතාටද බලපාන්නේ එම තත්වය බවයි.