ඇමති දුන් පොරොන්දුවෙන් පසු මාරාන්තික උපවාසය අවසන්

වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ පියවර ගන්නා බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය අද (23) පෙරවරුවේ අවසන් කෙරුණි.

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා ගොවීන් මාරාන්තික උපවාසය ක්‍රියාත්මක කළ ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු  සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 18 වැනිදායි.

ඒ අතුරින් තිදෙනෙකු පසුගිය 20 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර ඉන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (22) රෝහල්ගත කිරීමට පියවර ගැණුනි.

ඔවුන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මේ අතර ගැටලුවට විසඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද (23) පෙරවරුවේ සූරියවැව පොලිස් ස්ථානයේදී පැවැත්වුණි.

අමාත්‍යවරයා මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණ උපවාසයේ නිරත පිරිස හමුවුණේ ඉන් අනතුරුවය.

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාල කටයුතු සිදුකිරීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස  අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් සිදු කළේය.

ඒ අනුව දින හතරක් පුරා ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය අත්හැරීමට ගොවීන් තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකය.