විවේචන එල්ල කරන අයට වඩා මට ආදරය කරන පිරිස වැඩියි : ටීනා ශනෙල් ප්‍රනාන්දු

හෙක්ටර් ඩයස් විසින් නැවත නිර්මාණය කළ නිල්වන් මුහුදු තීරේ ගීතයට ලැබෙන ප්‍රතිචාර දිනෙන් දිනම ඉහළ යන බව පේනවා.

ඒ ගීතයට ලැබෙන ජනප්‍රියත්වයට ඒ වෙනුවෙන් කළ මියුසික් වීඩියෝවත් හේතු වුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ඒ හින්දම ඒ වීඩියෝවට රංගනයෙන් දායක වන ටීනා ශනෙල් ප්‍රනාන්දු ගැනත් බොහෝ දෙනෙක් කතා කරනවා. නිරූපණ ශිල්පය, ටෙලිනාට්‍ය සහ සිනමාව යන හැම පැත්තෙන්ම රසිකයන්ගේ ආදරය දිනා ගත්ත ටීනට කතා කරන්න අපි තීරණය කළේ ඒ හින්දමයි.

නිල් වන් මුහුදු තීරේ වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම අපි කතාබහ පටන් ගමු?

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇත්තටම ප්‍රතිචාර නම් හුඟක් හොඳයි. මේ වෙද්දි මිලියන 2කට වැඩි පිරිසක් අන්තර්ජාලයේ ඒක නරඹලා තියෙනවා. මම කරපු මියුසික් වීඩියෝවලින් කැමැතිම එක කිව්වත් වැරදි නැහැ. මං හිතන්නේ ඒ වීඩියෝ එකේ හැම දෙයක්ම හොඳටම ගැළපුණා. හෙක්ටර් අයියයි මායි විතරක් නෙවෙයි කැමරාවේ පිටුපස හිටිය කණ්ඩායමත් හරියටම ඒ වැඩේ කළා. ඒක තමයි මං හිතන්නේ මේ ජනප්‍රියත්වයට හේතුව.

ඔබ මේ දවස්වල වැඩිපුර නිරූපණයට සම්බන්ධ වෙන බව කලින්ම කිව්වනේ. හැබැයි නිරූපණ ශිල්පය කියන්නේ බොහෝ විවේචන එල්ල වෙන තැනක්. විශේෂයෙන් ඇඳුම් පැලඳුම් සම්බන්ධව ඔබටත් එවැනි විවේචන එල්ල වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මේකයි. මේක මගේ වෘත්තිය. එතැනදි මට කැමැති විදියට අඳින්න පලඳින්න බැහැ. අධ්‍යක්ෂවරයා හෝ නිර්මාණකරුවා කියන විදියට තමයි මම අඳින්නේ. මගේ වෘත්තිය හරියට කරන එක තමයි මගේ එකම අරමුණ. ඒ ගැන නොදන්න අය තමයි ඔය වගේ විවේචන එල්ල කරන්නේ. කොහොමත් මගේ වයස සහ ඇඟේ පෙනුම එක්ක මට එහෙම ඕනෑම විදියකට අඳින්න බැරි කමකුත් නැහැනේ. ඒ හින්දා මම ඔය කියන දේවල් පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. මොකද මම කරන දේවල්වලට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මට විවේචන එල්ල කරන අයට වඩා මට ආදරය කරන පිරිස වැඩියි. ඉතිං ඒ අය සතුටු කරන්න මගේ උපරිමයෙන් වෘත්තිය වෙනුවෙන් කැප වෙන්න තමයි මට ඕනෑ. ඒ ගැන නොදන්න අය කියන දේවල් මට අදාළ නැහැ.

අපි අහලා තියෙන විදියට ටීනා ලැබෙන හැම දේම බාර ගන්න කෙනෙක් නෙවෙයි. මොකක්ද ඒකට හේතුව?

මට කරන්න පුළුවන් ප්‍රමාණය විතරයි මම බාර ගන්නේ. මොකද මම කරන වැඩේ හරියටම කරන එක මගේ හැටි. ඒ හින්දා හැමදේම බාර අරගන්න මම කැමැති නැහැ.

ලංකාවේ කලා ක්ෂේත්‍රයේදී දක්ෂයාට නියම තැන නොලැබෙන බවක් බොහෝ දෙනෙක් කියනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යවලදී. රංගන ශිල්පිනියක් විදියට ඔබ ඒක දකින්නේ කොහොමද?

ඇත්තටම මටත් ඒක හිතිලා තියෙනවා. මොකද සමහර චරිතවලට තෝරා ගෙන ඉන්න අයව දැක්කම එහෙම වුණේ කොහොමද කියලා මටත් හිතෙන අවස්ථා තියෙනවා. ප්‍රේක්ෂකයන්ටත් එහෙම හිතෙනවා ඇති. ලංකාවේ සමහර නිළියෝ චරිතවලට එන්නේ වෙනත් මාර්ග හරහා කියන එක ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්න කාරණාවක්. අධ්‍යක්ෂ හෝ නිෂ්පාදක එක්ක අනවශ්‍ය දේ කරන ගොඩක් අය ඉන්නවා. එහෙම කරන අය තමයි නිතරම පේන්න ඉන්නේ. එහෙම කළා නම් මටත් හැම චැනල් එකේම හැමදාම පේන්න ඉන්න තිබුණා. ඒත් මම ඒකට කැමැති නැහැ. මගේ දක්ෂතාවය තේරුම් අරගෙන ඒකෙන් වැඩක් ගන්න තමයි මම කැමැති.

චන්දන පොන්නම්පෙරුම