රුසියාවේ ජනාධිපති පුටීන්ට කළු මුහුද අසබඩ සුවිසල් මාළිගයක්

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුටීන් කළු මුහුද ආසන්නයේ මාලිගයක් ඉදිකරගැනීම සඳහා මහජන මුදල් නීතියට පටහැනිව වැයකර ඇතැයි එරට මුල් පෙළේ විපක්ෂ නායකයකු වන අලෙක්සි නවල්නි (Alexei Navalny) චෝදනා කරයි.

විපක්ෂ නායකයා එම මාලිගයට අදාළ තොරතුරු අනාවරණය කරමින් වීඩියෝ පටයක් නිකුත්කර ඇති අතර, එය පළකරන ලද පළමු දිනය ඇතුළත පමණක් කෝටි දෙකකට අධික ජනතාවක් එය නරඹා තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම මහා මන්දිරය පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝපටය නවාල්නිගේ කණ්ඩායම විසින් නිකුත් කරන ලද්දේ විපක්ෂනායකයා ජර්මනියේ සිට යළිත් මොස්කව් අගනුවර කරා පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවය.

අදාළ තොරතුරු ප්‍රකාශයට පත්කරන කණ්ඩායම කියා සිටින්නේ කළු මුහුද අසබඩ මාලිගය සඳහා ඩොලර් කෝටි 137ක් (ස්ටර්ලිං පවුම් කෝටියක්) පමණ වැයකර ඇති බවය. එසේම එය “ඉතිහාසයේ වාර්තාවෙන විශාලතම අල්ලස” හැටියටත් ඔවුහු චෝදනා කරති.

එහෙත් එම මන්දිරය ජනාධිපති පූතින්ට අයත් බවට කෙරෙන ප්‍රකාශන ක්‍රෙම්ලිනය (Kremlin) විසින් බැහැරකරනු ලැබ ඇත.

කළු මුහුදේ වෙරළාසන්නයේ පිහිටි විශාල මන්දිර සංකීර්ණය රුසියානු ෆෙඩරල් ආණ්ඩුවේ නිලධාරීන් විසින් මුරකරන බවට කෙරෙන ප්‍රකාශන ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් (Dmitry Peskov) විසින් විග්‍රහකරනු ලැබ තිබුනේ “විකාර අදහස්” හැටියටය.

එම නිවාස සංකීර්ණය ‘මොනකෝ’ (Monaco) දිවයිනට වඩා තිස්නව ගුණයක් විශාල බව විපක්ෂ නායක නවාල්නිගේ පරීක්ෂණ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන විස්තරයෙහි ඇතුළත් වෙයි.

එම වීඩියෝ පටය අඟහරුවාදා (ජනවාරි 19) නිකුත්කරන ලද්දේ අලෙක්සි නවාල්නි ජර්මනියේ සිට සියරට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවය.

වංචාකරනු ලැබීමක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබුණ චෝදනා යටතේ නවාල්නිට එරෙහිව දී තිබුණ අත්හිටවන ලද සිර දඬුවමක් පවතිද්දී අදාළ කොන්දේසි උල්ලංඝනය කළේ යයි පවසමින් අත්අඩංගුවට ගන්නා ලද නවාල්නි නඩු විභාගයකට යොමුකිරීමට පෙර දින තිහක කාලයක් සඳහා රැඳවුම් භාරයේ සිටියි.