අගමැති : නැගෙනහිර ජැටිය කාටවත් දෙන්නෑ …….. රනිල් : යහපාලනේට වගකීම ගන්න බෑ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටිය) විකිණීමට හෝ බදුදීමට කටයුතු නොකරන බව අද (31) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඒ, වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටිය) මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබාදීමට යන බවට වෘත්තිය සමිති හා රට පුරා පවතින ආන්දෝලනය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට කාල්ටන් නිවසේ සිට පිළිතුරු දෙමිනි.
“ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ,” යැයි අගමැතිවරයා පැවසූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා,” යැයි අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ බව එහි වැඩිදුරටත් දැක්වේ.
“නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය දෙන්න යනවා”
මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පෙ සෝභිත හිමියන් චෝදනා කර ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරාදීමට දරන උත්සහයට විරෝධතා මතුවීමත් සමග වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවයි.
ඇඹිලිපිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ජාතික සම්පත් රැකගැනිම සියලු දෙනාගේ වගකීමක් බවයි.
යහපාලනේට වගකීම ගන්න බෑ – රනිල්
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද අද මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ.
පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගනිමින් මෙහෙයුම් කටයුතු සදහා ඉන්දීය සමාගමක් සමග ඒකාබද්ධ වූ සමාගමක් ස්ථාපිත කිරීම යහපාලන රජය සමයේදී ප්‍රධාන සැළසුම වී තිබූ බවත් ඔහු පැවසීය.
කෙසේවෙතත්, වත්මන් රජය මෙම ගැටලුව අර්බුදයක් කරා ගෙනගොස් ඇතිනම් යහපාලන රජයට එහි වගකීම භාර ගත නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.