කුඩු විකුණා ගත කළ සුපිරි ජීවිතය හෙළිවෙයි
ඉන්දියාවට පළාගොස් ඇති බවට සැක කෙරෙන මුහුදුමාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම මෙහෙයවන බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිවා” නොහොත් නන්දකුමාර් ශිවනන්දන් ගේ බිරිඳ ලෙස සැළකෙන කාන්තාවක් හෙරොයින් සමඟ තලාහේන ජයමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 250ක් සොයාගෙන ඇති අතර, 44 හැවිරිදි ඇය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි නෝනා ෂෙරීන් ෂෙයික් අහමඩ් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීමේදී ‘ශිවා’ නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් බවට සැකකෙරෙන අධිසුඛෝපභෝගී ජීප් රථයක් , වැන් රථ දෙකක් , මෝටර් රථයක් ජාඇල, ඒකල හා තලාහේන යන ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා.
වාහනවල වටිනාකම රුපියල් ලක්ෂ 500කට අධිකයි.
මෙහිදී සොයාගත් වාහන අතරින් KDH වර්ගයේ වැන් රථය සහ මිනි කූපර් වර්ගයේ රථය මීට පෙර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් පෑලියගොඩ කළු පාලම අසලදී කේරල ගංජා කිලෝ 400 සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු බැඳුම්කර මගින් නිදහස්කළ වාහන බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා..
මෙම මෝටර් රථ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවද පොලීසිය සඳහන් කළා..
අත්අඩංගුවට පත් කාන්තාව ‘ශිවා’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දෙවන විවාහයේ බිරිඳ බවත් ශිවා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටින් පලා යාමෙන් පසු ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම කාන්තාව සහය ලබාදී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.