වාහන ජාවාරමක සුලමුල හෙළිවේ
ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙක් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) මිරිහාන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ වැටලීමක දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 26 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගැනීම සම්බන්යෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, වාහනවල නියම අංක ඉවත්කර වෙනත් පාර්ශවයක් වෙත විකිණීමේ ජාවාරමක එම පුද්ගලයා නිරතව ඇති බවය.
“අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද වැඩිදුර විමර්ශනයේ දී විවිධ වර්ගයේ මෝටර් රථ, වෑන් රථ සඳහා ලේඛන ලෙස භාවිතා කරන ලද ගොනු 40කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම වාහනවල අංක තහඩු ලබා ගැනීමට ඉදිරිපත් කරන ආකාරයේ ව්‍යාජ පැමිණිලි පිටපත්, එමෙන්ම වාහන ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරන ගොනු ආදී විවිධ ලේඛන රැසක් සොයා ගෙන තිබෙනවා. මේ පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී අනාවරණය වී ඇත්තේ වාහනයක අංක තහඩු සහ වාහනය සම්බන්ධ වෙනත් ලියවිලි පිළිබඳව විවිධාකාරයේ වංචා කිරීම් සිදුකරන බවයි. යම් වාහනයක් කුලියට ලබාදීම සඳහා කුලියට වාහන ලබාදෙන ආයතනයකට අයිතිකරුවෙකු වාහනයක් ලබාදුන් පසු එම වාහනය මොවුන් විසින් ලබාගැනීමක් සිදුකර තිබෙනවා. නැතහොත් තෙවන පාර්ශවයක් විසින් ලබාගෙන ඉන්පසුව එවැනි වර්ගයේ වෙනත් වාහනයක අංකය මොවුන් විසින් භාවිත කරමින් අදාළ නියම අංක ඉවත්කර තවත් පාර්ශවයකට විකිණීමේ ජාවරමක් සිදුකර තිබෙනවා. “
අදාළ ජාවාරම සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.