සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300කට නඩු

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,300කට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

පසුගිය ජනවාරි 10 වන දින සිට මේ දක්වා කාලය තුළ ආයතන 12,012ක් පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,389ක් සොයාගෙන ඇති අතර ඉන් 1,300කට මේ වන විට නඩු පවරා තිබේ.

ඊයේ (08) දිනයේදී ද පරීක්ෂාවට ලක්කළ ආයතන 407ක් අතුරින් ආයතන 38ක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කර ඇති බව සඳහන් වේ.

මේ අතර ගත වු පැය 24 තුළ මුහුණු ආවරණ සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 30  සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 3,056 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!