දකුණු ඉන්දියානු සිනමා පටයක ප්‍රධාන චරිතවලට ශ්‍රී ලාංකික දෙපළක්
අතිශය ජනාදරයට පත් ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් නම් මලයාලම් සිනමා පටය පාදකකර ගනිමින් දමිළ බසින් නිර්මාණය කරන ගූගල් කුට්ටප්පන් නම් හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තෝරාගෙන ඇත.
මෙසේ තෝරාගෙන තිබෙන්නේ දර්ශන් ත්‍යාගරාජා සහ ලොස්ලියා මරියනේෂන් නමැති ශ්‍රී ලාංකීය රංගන යුවළය.
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවකු වන දර්ශන් 2014 වසරේදී මිස්ටර් ශ්‍රී ලංකා ෆෝ මිස්ටර් ඉන්ටර්නැෂනල් කිරුළ දිනා ගැනීමට සමත් විය.
ත්‍රිකුණාමලයේ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ සහ පේරාදෙනිය සරසවියේ ආදි ශිෂ්‍යාවක වන ලොස්ලියා මරියනේෂන් රූපවාහිනි නාලිකාවක හිටපු නිවේදිකාවකි. මෙම දෙදෙනාම දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය Big Boss නම් රූපවාහිනි රියලිටි වැඩසටහන් නියෝජනය කළ තරගකරුවන්ය.
මීට පෙර ජැක්සන් ඇන්තනි සහ පියුමි හංසමාලි ඉන්දීය චිත්‍රපටයක් වන ලක්නව් මලයාලම් සඳහා රංගනයෙන් එක්විය. ඉන් පසුව ඉන්දීය චිත්‍රපටයක් සඳහා ශ්‍රී ලාංකිකයන් දෙපළක් තෝරාගෙන තිබෙන්නේ මෙම චිත්‍රපටය සඳහාය. මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල හෙවත් ආශිර්වාද පූජාව ඉන්දියාවේ චෙන්නායි නුවරදී පසුගියදා පැවැත්විණි.