මුල්වරට කොකාකෝලා කඩදාසි බෝතලයක් අත්හදා බලයි

සිය බීම වර්ග සඳහා පළමුවරට කඩදාසි බෝතලක් අත්හදා බැලීමට කොකාකෝලා සමාගම එක්වී තිබේ.

ඒ, සිය ඇසුරුම්වලින් ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඔස්සේ 2030 වන විට ශුන්‍ය අපද්‍රව්‍ය නිපදවීමේ සමාගමක් බවට පත්වීමේ අරමුණ සමගයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වනවිට ලෝකයේ වැඩිම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිපදවන සමාගම කොකාකෝලා බව Break Free From Plastic යන පුණ්‍යාතනය පසුගිය වසරේදී සඳහන් කර සිටියේය.

අධික පීඩනයක්

මෙම නව කඩදාසි බෝතලේ මූලාකෘතිය, Paboco නම් ඩේනිෂ් සමාගමක නිර්මාණයකි.

ශක්තිමත් කඩදාසි වලින් සකසා ඇති මෙම බෝතලය ඇතුළත් තුනී ප්ලාස්ටික් තට්ටුවක් ඇත.

කෙසේවෙතත්, ඇසුරුම් වල ඇති කඩදාසි තන්තු බීම වලට එක්නොවිය යුතු අතර, එසේවුවහොත් මෙම පානයන්ගේ රස වෙනස්වීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ ගැටළුද පැනනැගිය හැකිවේ.

කෙසේවෙතත්, මෙහි අවසන් ඉලක්කය වන්නේ කාබනික බීම වලින් ගෑස් පිටනොවන ලෙස 100% ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, ප්ලාස්ටික් රහිත බෝතලයක් නිර්මාණය කිරීමයි.

බීර හා කාබනික බීම වැනි පානයක් බෝතල් කරනුයේ අධික පීඩනයක් යටතේ වන අතර, නව බෝතලය මීට ඔරොත්තු දිය යුතුවේ. ඊට අමතරව, මෙමගින් විවිධ බීම වර්ග වලට ඔබින ලෙස විවිධ මාදිලියේ බෝතල් නිර්මාණය කිරීමටද හැකි විය යුතු වේ.

වසර 7ක් පුරා පරීක්ෂණ වලින් අනතුරුව මෙම බෝතලයේ මුල් නිර්මාණයේ ආකෘති 2,000ක් කොකොකෝලා හි Adez පළතුරු පානය සමග හන්ගේරි හි දී අත්හදා බැලීමට කටයුතු යොදා තිබේ. එරට දේශීය සිල්ලර වෙළඳසැල් ජාලයක් සමග එක්ව සේ වසරේ ග්‍රීෂ්ම ඍතුවේදී මෙම නව කඩදාසි බෝතල් අත්හදා බැලෙනු ඇත.

මේ අතර, වොඩ්කා සඳහා ජනප්‍රිය ඇබ්සලූට් සමාගමද, කාර්ල්ස්බර්ග් බීර සමාගමද කඩදාසි බෝතල් සමග අත්හදා බැලීම් මේ වන විට සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.