රන්ජන්ගෙන් විජය මාමාට ලිපියක් …
විජය කුමාරතුංග මහතා සමුගෙන අදට වසර 33 ක් සම්පූර්ණ වේ. පහතින් පළවන්නේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට රන්ජන් රාමනායක මහතා විජය මාමා වෙත ලියූ ලිපියකි…..
2021 පෙබරවාරි 16
අඟුණකොලපැලැස්සේදී
ආදරණීය විජය මාමේ,
ඔබ අපෙන් ඈත්වී අවුරුදු 33 ක්. ඔබ නැතුව මේ කාලය ගෙවාගත්ත විදිහ වචන කරගන්න පහුගිය අවුරුදු 33 ටම මට බැරි වුණා. දැන් කියලත් විශේෂයක් නැහැ. වචන කරගත්තත් මේ ගල් බිත්ති හතරෙන් එපිටට ඒක ඇහෙන්නේ නැති විත්තියත් මම දන්නවා. ඒත් ශේෂ වෙච්ච මතකයන් ගොඩක් අතරේ මටත් විජය කෙනෙක් වෙන්න බලපෑම් කරපු මතකයන් කිහිපයක් මේ බිත්තිවල මැවිලා පේනවා.
විජය මාමේ, මං මගේ තරුණ කාලෙත් වැඩිහිටි ජීවිත කාලෙත් දැක්ක කඩවසම්ම මනුස්සයා ඔයා. විජය කුමාරතුංග තැනකට ඇවිත් කාර් එකෙන් බහිනවා කියන්නේ එතනට දෙවියෝ වැඩියා වගේ. මිනිස්සු තරගෙට ආදරය කරන, ඒ ආදරය නොඅඩුව ලබන්න ඔයා කොච්චර පිං කරන්න ඇත්ද. ඉතිං මාත් විජය කෙනෙක් වෙන්න හිතපු එක වැරැද්දක් නෙවෙයි නේද විජය මාමේ ?
මගේ කුඩා කාලයේ මම උවමනාවෙන්ම හොයපු දේවල්වලින් එකක් වුණේ ඔයාගෙයි මගෙයි නෑකම හැදෙන විදිහ. ගැටවර කාලේ වෙද්දී තිබ්බ ලොකුම ආසාව ඔයාව මුහුණට මුහුණ හම්බවෙන එක. නමුත් හිතන තරම් ඒක ලේසි වැඩක් වුණේ නැහැ. මේ කාලේ වෙද්දී මම ඔයා ඇවිදින විදිහත් අනුකරණය කරන්න පටන් අරන්. එදා අපේ පවුලේ ඥාතියෙක්ගේ මළ ගෙදරක්. මමත් හිටියේ ඒ මළ ගෙදර. කවුරුත් නොහිතපු විදිහට ඔයා ඒ මළ ගෙදරට ආවා. මිනිස්සු ඔක්කොම කුලප්පු වුණා. කාටත් මළ ගෙදර අමතක වුණා. ඔක්කොම ඔයා පස්සේ වැටුණා. කවදාහරි ඔයාව මුහුණට මුහුණ දකින්න හීන බල බල හිටපු මට මේක ස්වීප් එකක් ඇදුනා වගේ වුණා.
සෙනග අස්සේ පොරකාගෙන මං ඉස්සරහට ගිහිං ඔයාට දැම්මා මට දාන්න පුළුවන් හොඳම හිනාව. වැඩක් නැහැ. මේ සෙනග අස්සේ ඔයා මාව දැක්කේ නැහැ. ජිවිතේ අත් විඳපු ලොකුම දුක්වලින් එකක් මට ඒ වෙලාවේ දැනුණා. මමත් නිකන් හිටියේ නැහැ. ඔයා පිටිපස්ස හැරිලා කෙනෙක් එක්ක කතාවක ඉද්දී මං ගිහිං ඇඟේ හැපුනේ දැන්වත් මං දිහා බලයි කියන චේතනාවෙන්. හරියටම හරි. ඔයා හැරුණා. හැරිලා ඇහුවා ‘මේ බ්‍රිජට්ගේ කොල්ලා නේද ?’ කියලා.
ඊට පස්සේ මට දැනුණු හැඟීම විස්තර කරන්න වචන නැහැ. මගේ ලොකුම ආසාව විජය කෙනෙක් වෙන එක බව විජය මාමා එදා දැනගත්තා. ඉන් පස්සේ සිනමාවේ චරිතයක් ඉල්ලගන්න ගහපු රස්තියාදුවත් විජය මාමා දීපු තල්ලුවත් මම අපේ රටේ මිනිස්සුන්ට ඇති තරම් කියලා තියෙන්නේ.
විජය කෙනෙක් වෙන්න ගිය ගමන අතරේ මගේ තාත්තා කිව්වේ ‘උඹ විජයගේ දරුවෙක් නෙවෙයි මගේ දරුවෙක්. උඹට බෑ විජය වෙන්න. රස්සාවක් කරන් ඉඳපන්’ කියලා. ඒ කතාවේ ඇත්තක් තිබුණත් මගේ හීනය අතහැර ගන්න සූදානම් වුණේ නැහැ. නළු විජය ජනතා පුත්‍ර විජය වෙද්දී මම කල්පනා කළෙත් මම කොහොමද ජනතා පුත්‍රයෙක් වෙන්නේ කියලා.
ඒ කාලේ කවුදෝ ජ්‍යෝතිෂඥෙයෙක් කියලා තිබුණලු විජය කවදාවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ කියලා. තව සමහරු තව තව දේවල් කිව්වා. කොහොමහරි උන් ඔයාට වෙඩි තිබ්බා. මමත් එදා හිටියේ කොළඹ. ආරංචිය ආපු ගමන් මම ආවා ඉස්පිරිතාලෙට. මං හිතුවෙම තිබ්බ මූනිස්සම ලිස්සලා ගිහිං කියලා. ඔයාගේ ඔය හිනාවත් එක්ක ඉන්නවා මට මැවිලත් පෙණුනා. දවස් කිහිපයක් යනකන් මං හිටියේ හීනෙක.
ඒක මං මතක් කරන්න කැමති නැති දිනයක්. මාමට පාර්ලිමේන්තු යන්න බැරි වුණා නම් මම හරි මේ සටනට බහින්න ඕන බව මං හිතාගත්තා. අපේ ජනතාව දුකින් මුදවන්න ශාන්තුවරයෙක් වගේ හිටියේ ඔයා. ඔයාගේ වෙන්වීම මට දුන්නේ මහා පන්නරයක්. ඔයාට වගේ ඉරණමකට මට ලක් වෙන්න වෙයිද නැද්ද කියන එක මං හිතුවේ නැහැ. අඩුම ගානේ නිකන්ම නිකන් රන්ජන්ට වඩා පා.ම. රන්ජන්ට ලොකු කාර්යභාරයක් පැවරුණා.
මාමේ, මට හිතෙනවා මම ඔයා තරම් කෙනෙක් නොවුනත් එක් දේකින් මම ඔයාට වඩා ඉස්සරහින් ඉන්නවා. ඒ ඔයාට වඩා මම මේ රටේ මිහිපිට අපායවල් දැකලා තියෙනවා. ඔයා නැති තැන මිනිස්සුන්ගේ හිනාව වෙනුවෙන් මට කැප කිරීම් කරන්න ශක්තිය ලැබුණු එක විදිහක් තමයි මේ මිහිපිට අපායවල්.
ඔයා ජීවත් වෙලා හිටියනන් ඒ ශක්තිය ඔයාටත් ඒ විදිහටම ලැබේවි. අද ඔයාව ගොඩක් දෙනා සමරන දවසක්. ඒත් පෙබරවාරි 16 මට සැමරුම් දිනයක් නෙවෙයි. ඒක මං ශක්තිය ප්‍රාර්ථනා කරන දිනයක්. කොහොම වුනත් මාමේ, මගේ ඉරණම වෙන්නේ ඔයාගේ අරමුණ.
මීට,
රන්ජන් රාමනායක