ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අප සතු වෙන බව මං කීවේ නෑ – ගම්මන්පිල

ඉන්දියානු තෙල් සමාගමට බදුදී ඇති තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට පවරා ගන්නේ යැයි තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“පවරා ගන්නවා කියලා මම කිසිසේත්ම කිව්වෙ නෑ. මාධ්‍ය ආයතනයක් ඉංග්‍රීසියෙන් යවද්දී සහ ඉංග්‍රීසි පුවත්පතට මගෙ සිංහල කතාව පරිවර්තනය කරද්දී වරදක් කරලා තියෙන්නෙ. රී ඇක්වෙයා කියන වචනය පාවිච්චි කරලා තිබුණා. මගෙ කතාව ඔබට ඇහෙන්න ඇති, මාධ්‍ය වල කිව්වා. මම එතන ඉතා පැහැදිලිව කියනවා ඉන්දියාවට බදු දුන්න ඒ තෙල් ටැංකි යළිත් අප සතු කරගන්නවා, තෙල් සංස්ථාවට බහුතරය තියෙන ඉන්දියානු ලංකා තෙල් සමාගමත් ප්‍රධාන කොටස්කරුවෙකු වෙන සමාගමකින් ඒවා සංවර්ධනය කර පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. සංස්කරණයේදී තමා ඒක වෙනස් වෙලා තියෙන්නෙ”

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම තෙල් ටැංකි පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යනවා හැර නැවත ලබාදීමක් සිදු නොකරන බවට මතයක් ඉන්දියාව සමඟ සාකච්ඡාවේදී පැමිණියහොත් කරන්නේ කුමක්දැයි විමසීමේදී ඒ මහතා පැවසුවේ “ඔව් ඉතිං අපට ඉන්දියාවට ගහලා ගන්න බෑනෙ” යනුවෙනි.

කෙසේවෙතත් පසුගිය 17 වනදා ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේ “දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තෙ නැති 2003 සිට අපට අහිමි වුණු අපේ මහා සම්පතක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා” යනුවෙනි.