රන්ජන්ගේ ජීවිතය අනතුරේ – විපක්ෂය පාර්ලිමේන්තුවේ විරෝධයක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම හේතුවෙන් අද පාර්ලිමේන්තුව උණුසුම් විය. විපක්ෂ නායකයා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බැවින් ඔහුගේ වරප්‍රසාද ආරක්ෂා කළ යුතු බවයි.
ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කතානායකවරයාගෙන් ඉල්ලීම් සිදුකළ නමුත් මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව විපක්ෂ නායකයා පවසනවා.
ආණ්ඩු පාර්ශ්වය විපක්ෂ නායකයාට විරෝධය පළකරමින් සඳහන් කළේ රන්ජන් ගැන කතා කිරීමට මේ අවස්ථාවේදී විපක්ෂ නායකයාට අවස්ථාව ලබාදිය නොහැකි බවයි. සභාවේ දෛනික කටයුතුවලට බාධා නොකරන ලෙස ආණ්ඩු පක්ෂයේ නායකයන් සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ බාධා මධ්‍යයේ අදහස් දක්වමින් විපක්ෂ නායකයා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව තිබෙන බවයි.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය සම්බන්ධයෙන්ද අවදානමක් මතුව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රන්ජන් මන්ත්‍රීවරයා දිගින් දිගටම හොරුන් වංචාකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සම්බන්ධයෙන් හෙලිදරව් කළ බවත්, එසේ තිබියදී ඔහු මත්ද්‍රව්‍ය වැරදිවලට අදාලව සිරගත වූ පුද්ගලයන් සමග රකට රඳවා තබා ඇති බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ එසේ රඳවා තැබීම රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය පිළිබඳ දැඩි අවදානමක් බවයි. එසේ හෙයින් මන්ත්‍රීවරයා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.