ශ්‍රී ලංකා – පාකිස්තානු ද්විපාර්ශ්වික සාකච්ඡා සාර්ථකයි : ඉම්රාන් ඛාන් දිවයිනෙන් පිටව ගියා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැතිවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී සොයා බලා තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුවා.
ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අගමැතිවරයා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළ අතර කතාබහ බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පැවසුවා.දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළා. පාකිස්තානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.
කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් දැක්වුවා.
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ අවධානය යොමුකර තිබෙනවා.
දෙදින නිල සංචාරය නිම කරමින් පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියා.