පොහොට්ටුව 145ක් ගත්තේ පාස්කු විමර්ශන ප්‍රෝඩාවෙන්. මේක බොරුවෙන් ගත් ව්‍යාජ ජනවරමක් – සජිත්

 

වත්මන් රජය තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් ලබාගත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අසත්‍ය ප්‍රචාරවලින් ජනතාව මුලා කරමින් සිදුකළ මහා ප්‍රෝඩාව හරහා බවත් එසේ බොරුවෙන් ලබාගත් ව්‍යාජ ජනවරමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“ඒ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාවගේ මළමිනී උඩින් මළකදන් උඩින් දේශපාලනය කිරීම තුළ තමයි මේ පාස්කු ප්‍රහාරය කේන්ද්‍ර කරගත් ප්‍රෝඩාව නිර්මාණය වෙලා තිබෙන්නෙ. දැන් හරියටම මැතිවරණ කාලේ රිෂාඩ් බදූර්දීන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ගැන දැන් ඔය එක එක්කෙනා එක එක දේවල් කිව්වා සතොසෙන් වාහන ගත්තා ප්‍රහරවලට යනාදී වශයෙන් විවිධ ප්‍රකාශ කළා. දැන් මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම කියනවා මේ පුද්ගලයාට මොනවත් සාක්ෂි ඉදිරිපත් කරන්න බැහැයි කියලා ත්‍රස්තවාදී කටයුතුවල නිරත වුණායි කියලා. ඉතිං එදත් අදත් අතර මේ සිද්ධ වෙලා තිබෙන්නෙ රට මංමුලා කරන ජනතාව රවට්ටන පාස්කු ප්‍රෝඩාව.

බොරුව කරපු අය බොරුවෙන්ම පරාජය වෙනවා කවදාහරි දවසක. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු කාරණා පහුගිය කාලෙ එළිදැක්වීමේදි ඒ සිදුවුණු මහා ප්‍රෝඩාව පිළිබඳ කොමිසමක් පත් කරලා මේ බොරු කරපු කණ්ඩායම, ඒවගේම බොරු කරපු ආයතන, බොරු චිත්‍රයක් මවාපාපු ඒ පුද්ගලයින් ටික රටට හෙළිදරව් කළොත් හොඳයි කියන එකයි මගේ අදහස”

“දැන් හැමෝම කතා කරනවා 20 ගැනයි 20ට තුනෙන් දෙක හදාගන්න එක ගැනයි. ඇත්තටම තුනෙන් දෙකට ආසන්න මන්ත්‍රී ප්‍රමාණයක් මේ රජයට ලැබිලා තිබෙනවා. ඉතිං මම අහන්න කැමතියි පොල් මිල අඩු කරන්න තුනෙන් දෙකක් ඕනෙද ? සහල් මිල අඩු කරන්න තුනෙන් දෙකක් ඕනෙද ? අපේ රටේ ජනතාවට කහ ටික සපයන්නට තුනෙන් දෙකක් අවශ්‍යද ?

ඇත්තටම මේ තුනෙන් දෙකට ආසන්න සංඛ්‍යාව නිර්මාණය වුණේ ප්‍රධාන වශයෙන් අර පාස්කු ප්‍රෝඩාව තුළ. රටේ ජනතාවගේ මනස විකෘති කරන ඒ ක්‍රියාදාමය තුළ ඇත්ත වශයෙන්ම මේ රජයට තුනෙන් දෙකට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවෙලා තිබෙනවා නම් මේ ලැබුණු ජනවරම මම දකින්නෙ ව්‍යාජ ජනවරමක් හැටියටයි. ඒනිසා මේ ව්‍යාජ වරම හරහා ගෙනෙන්න හදන කිසිසේත්ම රටට විණ කරන ව්‍යාජ 20 වෙනි සංශෝධනය සදාචාරාත්මකව අනුමත කරන්නත් බැහැ. අපි ජනවරමෙන්, ජන ශක්තියෙන්, ජන සවියෙන් 20 වැනි සංශෝධනය පරාජය කරනවාමයි” යනුවෙනුයි ඒ මහතා සදහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි සමගි ජන බලවේගයේ පක්ෂ යාන්ත්‍රණය පිහිටුවීමේ වැඩසටහනට එක්වෙමිනි.